Wednesday, October 26, 2011

තිස් අට වෙනි දිගහැරුම ඉතිරි කොටස

පුදුමෙකට වගේ මෙච්චර දවස හිතේ තිබ්බ සංතාපය කොහෙදෝ නැතිවෙලා ගිහින් වගේ මට තේරු ණා..
"කරන්න බැරි දේවල් පුලුවන් කියලා හිතලා, ඔයාටත් දුක් දීලා, ප්‍රශ්ණ වලින් පැනලා දුවන්න හදපු මේ මෝඩයට සමාව දෙනවා නේද?"
අපූර්ව ඇහුවාම මේ දවසේ මුල්ම වතාවට මට හිනාවක් ගියා.
"ආයේ කවදාවත් ඔයා අඬවන්නේ නෑ මෙත්මා. අයි ප්‍රොමිස්" ඔහු කිව්වේ මගේ කඳුළු පිරුණ ඇස් වලට එබිලා.
ඊට පස්සේ හැමදේම දෙගුණයක් ලස්සනට මට පෙනුනා. හිතේ තිබුණ ලොකු බරක් ඇයින් වෙලා වගේ සැහැල්ලුවක් මට දැනෙමින් තිබුණා.
"මං ආයෙත් එන්නම්. ආච්චි මම්මට කියන්න ගියා කිව්වා කියලා"
තේ බීලා යන්න ලෑස්ති වුණ අපූර්ව මගේ හිස අතගාලා කිව්වා. හොඳ වෙලාවට තාමත් අප්පච්චි ගෙදර ආවේ නැහැ.
"දැන්ම යන්නේ?"
"මමා දන්නෙවත් නෑ අපි ආපු වග ඒකයි. බය වෙයි නේ"
"එතකොට ආවේ මේක කියන්නමද?"
"ඔව්. මට මේ දේ ඔයාගේ මූණ බලාගෙනම කියන්න ඕන වුණා. අදම කියන්නත් ඕන වුණා"
මම ඔහුට හිනාවක් පෑවා ආදරෙන්.
"මට බය හිතුණා ඔයා මාව අමතක කරන්න හිත හදා ගනී කියලා. හදිසියේ වත් ගෙදරින් කියන දේකට කැමති වුනොත් කියලා"
අපූර්ව කිව්වේ ඇස් දෙකත් උඩ තියාගෙන.
"දැන් එහෙම වෙන්නේ නෑ" මම කිව්වා.
අපූර්ව හිනාවුනා ඇස් වලින්.
"එහෙනම් මං යන්නද?"
"හරි එහෙනම්" මම කිව්වා.
අපි එළියට යද්දි යෂිෂ් එළිපත්ත උඩ හිටගෙන අවට සිරි නරඹනවා. ඔහු අපි එන හඬ ඇහිලදෝ අපි දිහාට හැරුණා.
"දැන් හරිද? සෙපරේට් වෙන්නම ඕන වුණා නැතුව බෑ කියලා තේරෙන්න නේ. අනේ...මම නැත්නම් උඹ තාමත් අර ගඳගහන කාමරේට වෙලා පිස්සු කෙලිනවා"
අපි එලියට යද්දි යෂිෂ් කිව්වා.
"ඇත්ත. ඇත්ත. මේ ආපු ගමනේ ක්‍රෙඩිට් එක යන්න ඕන යෂිට තමා" අපූර්ව කිව්වා.
"තෑන්ක් යූ යෂිෂ්" මම කිව්වා.
"නෝ ප්‍රොබ්ලම්.අයි විල් ඩූ එනිතින්ග් ෆෝර් යූ ටූ"
අපූර්ව කාර් එකට නැගලා මට හිනා වුණා.
"කෝල් කරන්නම්"
"හ්ම්." මම හිස වැනුවා පුරුදු විදියට.
"ගිහිං එන්නම්"
"පරිස්සමෙන්"
ඔවුන් දෙන්නා උදේ පායාගෙන ආපු හිරු රැස් වැටිලා හැඩ වුණ පුංචිපාර දිගේ නොපෙනී යනකල් මම බලාගෙන හිටියා. සිද්ධ වුණ දේවල් මට තවමත් අදහා ගන්න බැරි වුණා. ඒත් ඇත්ත ආදරේ කවදා හරි ජය ගන්නවාමයි. කවුදෝ කියපු දෙයක් මට මතක් වුණා. මම සුසුමක් හෙලලා ලය සැහැල්ලු කර ගත්තා. ඉතිං නම් ආයෙ කවදාවත් මම ඔයාට යන්න දෙන්නේ නෑ අපූර්ව...ඔයා මගේමයි. මම ඔයාගේ විතරමයි.
"මහත්තයාලා ගියාද?"
මම හිස් තේ කෝප්ප ටික අරගෙන කුස්සියට යද්දි මල්ලිකා නැන්දා උයන්න ලෑස්ති වෙනවා.
"ඔව්.ගියා. හදිසියෙන් නේ ඇවිත් තියෙන්නේ"
මම කෝප්ප ටික හෝදන්න ලෑස්ති වෙද්දි ඈ මට කතා කලා.
"ඇහුවට මුකුත් හිතන්න එපා පුංචි නෝනා, ඒ මහත්තයා නේද පුංචි නෝනගේ යාලු මහත්තයා?"
අතේ තිබ්බ කෝප්පේ අතෑරෙන්න ගියා ඒ ප්‍රශ්ණේ ඇහුණාම. මම ඈ උන්නු පැත්තට නොහැරීම කතා කලා.
"මල්ලිකා නැන්දා මොනවද මේ කියන්නේ?"
"නෝනවයි, මහත්තයාවයි දැක්කාම ඒ ටික හිතා ගන්න පුළුවන්. ඒ මහත්තයා මුලිම මෙහේ ආපු දා ඉඳලම මට ඒක තේරුණා. අපරාදේ කියන්න බෑ, හරිම හොඳ මහත්තයා"
මම ඈ දිහාට හැරුණේ බයකුත් හිතේ තියාගේ.
"මේ ගැන ගෙදර අනික් අයත් දන්නවද?"
මල්ලිකා නැන්දා මා දිහා බැලුවේ යන්තමට හිනා වෙලා.
"මං දන්න තරමින් නම් නෑ"
"මල්ලිකා නැන්දා කියන්නෙත් නෑ නේද?"
"අනේ නෑ මයේ නෝනො. මං අද වෙනකල් කටෙන් කෙල බිංදුවක් හැලුවේ නෑ. ඉදිරියටත් එහෙමයි. සුදීප මහත්තයා ගැන වුණත් මම කාටවත් කිව්වේ නෑනෙ"
"ඒ කියන්නේ, අයියා ගැනත් දැනං හිටියද?"
මල්ලිකා නැන්දා හිස වැනුවා.
"ඒත් පුංචි නෝනා, නෝනට ඔය සම්බන්ධේ ගෙනියන්න ලේසි වෙන එකක් නෑ, අපේ ලොකු මහත්තයත් එක්ක"
"ඒක මම දන්නවා නැන්දේ" අප්පච්චි මතක් වෙලා ආයෙමත් හිත මීදුමකින් වැහුණා.
"මේ දවස් වල නෝනා ගැන තමා ගෙදර කතා වෙන්නේ" ආ කිව්වේ මගේ අර්තාපල් කූඩේ මේසෙන් තියන ගමන්.
"මං ගැන? මොනාද?"
මල්ලිකා නැන්දා උත්තරයක් නොදී අල ගෙඩියක් පොතු අරින්න ගත්තා.
"නෝනත්, සුදීප මහත්තයා වගේ හිතුවක්කාර වෙයිදෝ කියලා කතා වෙනවා මං අහගෙන"
"ඉතිං ඉතිං?" මම මේසේ ලඟට ගිහින් ඇහුවේ උනන්දුවෙන්.
"ඒ ගැන ලොකු මහත්තයා හිතලා ඉවරයි කියලා කියනවා මට ඇහුණා. පුංචිනෝනො කෝකටත් පරිස්සමින්"
මල්ලිකා නැන්දා කිව්වේ එච්චරයි. මගේ හිතට අනියත බියක් පිවිසුණා.'යාන්තම් හිත හැදුණා විතරයි, ඒ පාර මොකද වෙන්න යන්නේ?'

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....