Saturday, October 29, 2011

හතලිස් වෙනි දිගහැරුම ඉතිරි කොටස


තද කොළ පට ඔසරියක් ඇඳගෙන මුලින්ම ගෙට ආවේ වෙන කවුරුවත් නෙවෙයි ගජධීර මැඩම්. ඊට පස්සේ වත්සල සූරිය ආරච්චි. ඊලඟට ඔවුන්ගේ තාත්තා. අන්තිමට කලිඳු සූරිය ආරච්චි. 'එතකොට ගජධීර මැඩම් කලිඳු අයියාගේ අම්මාද?'
මට සිද්ධ වෙන දේවල් හෙමි හෙමින් තේරුම් යමින් තිබ්බා. අප්පච්චිලාගේ අභ්ප්‍රාය, මේ දවල් කෑම, කල්ලින්ධු අයියාගේ පැමිණීම...මම අන්ද මන්ද වෙලයි හිටියේ තාමත්.
"මෙත්මා..." මම කල්පනාවෙන් මිදුනේ මැඩම්ගේ කටහඬට.
"මැඩම්..." මම හිනා වෙන්න උත්සාහ කලා.
"ඔයා එතකොට මේ මිස්ට ජයමානගේ දුව? වට් අ ප්ලසන්ට් සප්‍රයිස්! පුතාලයි, තාත්තයි මෙහේ එනකල්ම මට කිව්වේ නෑ එන්නේ ඔයාව බලන්න වග. ගිහින්ම බලමුකෝ කිය කිය ආවේ..."මැඩම් කිව්වේ පුදුමෙන් වගේම සතුටකින් මාව වැල්ගනිමින්.
"මේ මගේ කෙල්ලෙක් නේ. මීට මාසෙකට විතර කලිනුත් මගේ ගෝලයෙක්..."
මැඩම් මාව ඇදගෙන ගිහින් පුටුවකටැ බර වුණා.
මේ මොනවද සිද්ධ වෙන්නේ? මම උන්නේ තාමත් මුකුත් හිතාගන්න බැරිව.
ඊටපස්සේ ප්‍රශ්ණ වැලකට උත්තර දීම්, සතුටු සාමිචි, සංග්‍රහ...කොච්චර නම් දේවල්ද?
"...තාම පොඩි වයසනේ, සාරි අඳින්න දන්නෙත් නෑ. ඉතිං අපි බල කලෙත් නෑ..." නැන්දා කාටදෝ කියනවා.
"..අර්තාපල් මිල කොහොමත් බහින්නෙම නැති තරම්..." ඒ අප්පච්චි.
"...තව එක දොදොල් කෑල්ලක් කන්න පුතේ..." අම්මා කාට්දෝ වද කර කර දොදොල් කවන්න හදනවා.
"...හරි සීතලයි තමයි..."
හැමෝම තැන් තැන් වල සතුටු සාමිචියේ යෙදිලා. ඔය සේරම අස්සේ කලිඳු අයියාගේ ඇස් දෙක මං ලඟම නැවතිලා. මං කොහාට ගියත් ඒ ඇස් මගේ ලඟ. මම උන්නේ කියන්න බැරි තරම් අපහසුතාවයකට පත් වෙලා. අප්පච්චි නොහිටින්න මම මෙලහකට කොහේට හරි දුවලා ගිහින් හැංගිලා. මට දැනුනේ කූඩු කරපු සතෙක් වගේ. මං කොච්චර අසරණ වෙලාද කියලා මට හිතුණා.
"අපි එහෙනම් කෙලින්ම කාරණාවට බහිමුකෝ" උගුරේ රැල් බුරුල් හෙම ඇරලා කතාව පටන් ගත්තේ කලිඳු අයියාගේ මාමා. මම තාමත් හිටියේ අප්පච්චි ලඟ. එහෙම කියද්දි මම බිම බලා ගත්තා.
අපි දවල් කෑම අහවර කරලා සාලෙට ගියා විතරයි.
"ආයේ දවස් ගණන් ගන්න ඕන නැනෙ. අපි ඉතිං කාලයක් තිස්සේ දන්න අඳුනන උදවිය ව්ච්චි. ආයෙම ඉතින් කල් අරින්න ඕන නෑ. අපි මේ ගෑණු ළමයට කැමතියි"
ඒ වචන ටික මට ඇහුනේ හීනෙන් වගේ. හිස් මුදුන රත් වීගෙන ඇවිත්, හිතට යකඩ බරුවක් කිඳා බහිනවා වගේ මට දැනුනා.
"අපි කැම්ති වුණාට ගෑණු ළමයා කැමතිද කියලා කවුරුත් ඇහුවේ නෑනෙ" ඒ වත්සල අයියාගේ කටහඬ.
මම හිස උස්සලා බලද්දි හැමෝම මගේ දිහා බලාගෙන. කලිඳු අයියාගේ මමා මහා හයියෙන් හිනා වෙනවා.
"අපට කියාවියැ, මනමාල මහත්තයාටම අහන්න කිව්වා නම් හරි"
මම තව තවත් අපහසුතාවයට පත් වුණා. මට එක පාරටම මතක් වුණේ අපූර්ව. අද මේ වෙන දේවල් ඔහු දන්නවා නං?
අප්පච්චිගේ ඉහේ මලක් පිපිලා ගාණයි. අම්මාටත් හිනාව නවත්තගන්න බෑ. ගජධීර මැඩම්ටත් එහෙමයි.
"පැංචි...එහෙනම් ගිහින් මේ අයියට ඔයාගේ ඕචාඩ් එක පෙන්නන්නකෝ" අප්පච්චි මට කිව්වා.
ටිකක් වෙලා අරගෙන මම නැගිට්ටේ යන්ත්‍රානුසාරයෙන් වගේ.ම ඕන වෙලා තිබ්බේ මේ සේරම දමලා ගහලා ගිහින් කොහේට හරි වෙලා අඬන්න.
"මොනවද ඔයා හදලා තියෙන පළතුරු?"
සයිප්‍රස් ගස් වැට ලඟින් වත්ත දිහාවට දිවෙන පුංචි අඩි පාර ලඟදි මට සමාන්තර වෙන ගමන් කලිඳු අයියා මුලින්ම කතා කලා. මම හිටියේ අහක බලාගෙනමයි.
"ස්ට්‍රෝබෙරි, පෙයාස්, අලි පේර...ඕවා තමයි"
කලිඳු අයියා වට පිට බලනවා.
"ගෙඩිත් තියෙනවද?"
"තාම නෑ"
මම වත්ත අයිනේ තිබ්බ පිච්ච වැල ගාවට ගිහින් ඔහුට පිටු පාලා කිව්වා.
"ගාඩ්නිං වලට ආසද?"
කලිඳු අයියා සුදු පාට ජපන් රෝස පඳුර ලඟ නැවතුනා.
"ආසයි"
"හැබැයි නුවර නම් ඕවා හැදෙයිද දන්නේ නෑ"
එහෙම කිව්වාම මගේ හිත සැලෙන්න ගත්තා.
"ඒ වුණත් වෙන පළතුරු නම් හැදේවි" ඔහු ආයෙම කියනවා.
"හ්ම්" මම ඕනවට එපාවට හිස වැනුවා." මං ඉතිං නුවර එන්නේ නෑනෙ. ඒ නිසා කමක් නෑ"
කලිඳු අයියා මගේ දිහා බැලුවේ පුදුමෙන්.
"ඇයි?"
"මං ආස මෙහෙට විතරයි" මම බොරුවක් කිව්වා.
"එහෙමත් එකක්ද?"
ඔහු ඇහුවේ ජපන් රෝස පඳුර ලඟ ලී බංකුවේ වාඩි වෙන ගමන්.
මම ඒකට උත්තර දෙන්න නොගිහින් මගේ ස්ට්‍රෝබෙරි පාත්තිය දිහාට ඇවිදගෙන ආවා. මේවා ඉන්දුවේ දවසක් මමයි, අපූර්වයි. දැන් ඒවයේ කොල පාට පුංචි ගෙඩිත් හැදිලා. මම ඒවා අතගාලා බැලුවේ දුකෙන්.
"දන්නවද නංඟි..." කලිඳු අයියා මුලපුරන්න හැදුවේ ලොකු කතාවකට.
"මොකක්ද?"
"මේ දේවල් මේ විදියට වේවි කියලා මම කවදාවත් හිතුවේ නෑ. ඉස්සර දවස් වල මගේ හිතේ ඔයාට ලෙන්ගතු කමක් නොතිබ්බා නෙවෙයි, ඒත් ඊට පස්සේ වුණ සිද්ධි වලින් පස්සේ මම හිතුවා ආයේ කවදාවත් නෙලුම් මැඩම් මගේ මූණ බලන්නේ නැති වෙයි කියලා. මම හිටියේ ඔයාව අමතක කරලා, එදා ඔයාව ආයෙම මුණගැහෙනකල්ම. ඇත්තමයි"
මට හිනාවක් ගියා.'මං එතකොටවත් ඔහුව අමතක කරලා තිබුණද?'
"ඒත්, මාමා ඇවිත් ඔයා ගැන කියද්දි මගේ හිත මොකක්දෝ වුණා. ඔයා ගැන මම හිතන්න පටන් ගත්තා. බලන්න අපේ දෛවයේ හැටි. අපි කාලෙකට කලින් වෙන් වුණා, දැන් ආයෙමත් එකතු වෙලා. මට හිතුණා එදා භානුකලගේ කීමට නැතුව මම ඇත්තටම ලියුම ලිව්වා නම් ඉවරයි කියලා"
"ඒ මොකද?"
"නෑ ඉතිං කොහොමටත් එකම දඬුවම නේ"
මට ඒ අතීතේ මක් කරන්න ඕන වුණේ නෑ.
"දැන් ඉතිං ඕවා හිතලා වැඩක් නෑනෙ. ඔයාට නරකක් වුණේ නෑනෙ" මං කිව්වා.
"ඔව්...ඔයා නිසා. ඉදිරියටත් එහෙම වේවි නේද?"
මට සුසුමක් හෙලුනා.
"මං දන්නෑ අයියා" මට කියවුණා.
ඔහු ටික වෙලාවක් ගත්තා.
"ඔයා දෙගිඩියාවෙන්ද ඉන්නේ මේ ගැන?" ඔහු ඇහුවා.
"මොනා ගැනද?"
"මේ ප්‍රපෝසල් එක ගැන?"
මම හිස වනුවා. ඒ මොකටද කියලා මම වත් දන්නේ නෑ.
"ඒ කියන්නේ කැමතිද?"
ඔහු ඇහුවේ මගේ ලඟට ඇවිත්.
මගේ පපුව හිර වුණා. දෙවියනේ මේ මොනවද වෙන්න යන්නේ? මට ආයෙමත් මතක් වුණේ අපූර්ව.
"අපි යමු" මම නැගිට්ටේ එහෙම කියාගෙන.
"ඔයා මට උත්තරයක් දුන්නේ නෑ" ඔහු උන්නු තැනම හිටගෙන කිව්වා.
" තව හිතන්න ඕන" මම එහෙම කියලා එන්න ආවා.
මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. එහෙන් අප්පච්චි, අම්මා. මෙහෙන් අපූර්ව. මං කාගේ පැත්ත ගන්නද? කලිඳු අයියා ගැන මගේ හිතේ දන් නම් මොනම හඟීමක් වත් තිබුණේ නැහැ. මම කල්පනා කලේ ඇයි මට මෙහෙම වුණේ කියලා. මං ඉදිරියට මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බැරි වුණා. අපූර්ව ඉක්මණට එනවා නං?
කලිඳු අයියලා පිටත් වෙලා ගියාට පස්සේ හිතට දැනුනේ ලොකු අස්වැසිල්ලක්. හිස මත තියලා තිබ්බ ලොකු බරකින් නිදහස් වුණා වගේ මට දැනුනා. ඒත් හිතේ තිබ්බ නිදහස සහමුලින්ම නැති වෙලයි තිබුණේ. මං කාමරේට ගිහින් දොර වහලා ඇඳට වැටුණා. සේරම තීරණය වෙලා ඉවරයි. ම තිබුණේ බලන් ඉන්න විතරයි.
එදා රෑ මම බට්ටි නිදියනකල්ම ඇහැරලා හිටියා අපූර්වට රිංග් කරන්න. අපූර්ව හැරෙන තැපෑලෙන් ආපහු මට ගත්තා.
"අපූර්ව..." මං කතා කලේ දුකෙන්.
"අම්මේ...අවුරුදු ගාණකින් කතා කරනවා වගේ. ඉතිං කොහොමද මගේ පැටියෝ?" අපූර්ව නම් ඉන්නෙ අසතුටින් වගේ. මට ඒ හිතට දුකක් දෙන්න ලෝබ හිතුණා.
"හොඳයි, ඔයාට?"
"හොඳින් හොඳින්. ඒත් ඔයා ලඟ නැති එක තමා ඉවසගෙන ඉන්න අමාරු"
"බොරු"
"ඇත්තමයි, කෝ ඉතිං ඔයාට මාව ෂුවර් නෑනෙ"
"එහෙම නෙවේ,මං නිකන් කිව්වේ" මම කිව්වා.
"අද මොනාද කලේ?" ඔහු අහනවා.
අද වුණ දේවල් ඔහු දන්නවා නං මොනවා වෙයිද?
"විශේෂ දෙයක් නෑ"
"ම්ම්. පාලුද?"
ඔහු එහෙම ඇහුවාම මගේ ඇස් වලට කඳුළු පිරුණා.
"හ්ම්. අනේ ඔයා ඉක්මණට එනව නං හොඳයි"
අපූර්ව නිහඬ වුණා.
"තව දවස් හතරයි නේ. ආපු ගමන් ඔයා බලන්න එන්නම්"
"හොඳයි"
"එක්සෑම් කවද්ද?" ඒ පාර ඔහු අහනවා.
"ලබන සතියේ සඳුදා"
'ෂෝක්...එතකොට මාත් ඇවිල්ලනේ. අපට ආයෙමත් නුවර රවුමක් ගහන්න පුළුවන්"
"ඔව්" මම කිව්වේ දුක හිතේ පෙරලි කරද්දි. කඳුළු ඇස් බොඳ කරද්දි.
"ඔයා ඉක්මණට එන්න..." මට කියවුණා.
"හරි. දැන් නාඬා ඉන්නකෝ,නැත්තම් මටත් දුකයි නේ"
මම ඇස් පියා ගත්තා.
"දවස් ගෙවිලා ගිහින් ඔයා හැරිලා බලද්දි මම ඔයා ලඟ ඉඳීවි. එතකල් දුක් නොවී ඉන්න මෙත්මා...මම දුර හිටියත් මගේ හිත,ආදරේ තියෙන්නේ  ඔයා ලඟ "
අපූර්ව අන්තිමට කිව්වා.
ඇමටුම ඉවර කරලා මම ඇඳේ ඇල වුණා. පාලුව, දුක, කලකිරීම, බය, මේ සේරම රාත්‍රියටත් වඩා අඳුරකින් මගේ හිත වහලා දැම්මා. 'දෙවියනේ ආයෙත් මගේ අපූර්ව මගෙන් ඈත් කරන්න එපා...'

4 comments:

  1. ඊලග කොටසත් ඉක්මනට දාන්න ..

    ReplyDelete
  2. ම්...ලස්සනට ලියනව....

    ReplyDelete
  3. aneeeee ko anik kalle?? akki busy wage,, puluwan ikmnate liyala danne hodeeeeeee ,, take care

    ReplyDelete
  4. Please Update Sooooooooooooooooooooooooooooooooooon

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....