"පැංචි අනනවා විතරනේ. කන්නේ නෑනෙ"
දවල් කෑම මේසෙදිත් මම උන්නේ කල්පනාවක. අප්පච්චි මගේ දිහා බලාගෙන හිටියා. මම හිනාවෙලා ආයෙම කෑම කන්න පටන් ගත්තා.
"එන්න මං කවන්නම්"
අප්පච්චි කිව්වාම මට පුදුම හිතුණා. ඉස්සරෝම දවස්වල අපි පුංචි කාලෙ අපට බත් කැව්වට පස්සෙම, මේ අප්පච්චි මට බත් කැව්ව පලවෙනි වතාව. බිස්නස් වැඩි වෙද්දි, විවේකය අඩු වෙද්දි, අප්පච්චියි අපියි දුරස් වුණා කියලා මට හිතුණා. මට හීන් සතුටක් දැනුනා. අප්පච්චි අතින් බත් කටක් කද්දි මටැ හිතුණේ අප්පච්චි මේ තරම් ආදරේ කරන මාත් අකීකරු වුණොත් අප්පච්චිත මොනවා වෙයිද කියලා. එහෙම නොවී ඉන්න මට පුළුවන් වෙන්න කියලා මම හිතින් හිතුවා.
"දවල් දීපා කෝල් කලා, කෙල්ලෝ දෙන්න කෝ අහලා. අපේ එක්කෙනා එනේ නෑ කිව්වාම දීපා මොනා හිතුවද මන්දා. කොහෙද මේ ළමයාගෙත් කෝලං නේ. ඔය සති දෙක ඉන්න බෑ කියන්නේ"
අම්මා තාමත් මගේ නුවර යෑමේ පලහිලව්ව ගැන කියවනවා. මම මුකුත් කියන්න ගියේ නැහැ. ඔය මොනවා කිව්වත් මම ගෙදර ඉන්න එක ගැන හැමෝම සතුටු වෙන බව මම දැනගෙන හිටියා.
දවල්ට කාල ඉවර වෙලා හැමෝම තම තමන්ගේ වැඩ වල නිරත වෙලා. මට දැනුනේ මහා පාලුවක්. කවදාවත් මට මගේ ගෙදර මේ තරම් පාලුවක් දැනිලා තිබුණේ නැහැ. අප්පච්චිට හොඳටම නින්ද ගිහිං. අම්මා බට්ටිත එයාගේ කාමරේ පාඩමක් කියලා දෙනවා. හර්ෂි අක්කයි, සීයා පප්පයි, ආච්චි මම්මයි ටවුමට ගිහින්. මට එන්න කිව්වත් මම බෑ කියලා ගෙදර නතර වුණා. මම තනියෙම සාලෙට වෙලා කල්පනා කලා. නුවර හිටියත් මෙච්චරම තමයි. දුක වැඩි වෙනවා විතරයි ඒත්. අමාරුවෙන් මතක් නොකර ඉන්න උත්සාහ කලත්, දියේ ගිල්ලන බෝලයක් වගේ ආයෙ ආයෙත් අපූර්ව ගැන සිතුවිලි හිතේ මතු වුණා. මට ඊයේ රෑ මතක් වුණා.'අපූර්ව මම කතා කරද්දිත් කතා නොකරම හිටියා, අන්තිමට ෆෝන් එක ඕෆ් කලා'. පෙරේදා වෙනකල් පණට පණ වගේ මට ආදරේ කරපු අපූර්ව එහෙම කලේ කොහොමද කියලා මම කල්පනා කලා.
"කවුරුහරි ආවද කොහෙද" කුස්සියේ දොරෙන් එබුණ අක්කා කිව්වා.
අපි දෙන්න මල්ලික නැන්දත් එක්ක අග්ගලා හදමිනුයි උන්නේ.
"මට නම් ඇහුණේ නෑ" මම කිව්වා.
"ආ...මං ඒත් බැලුවා මේ කවුද කියලා. මේ ළමයනේ එන්න එන්න ගෙට" මට ඇහුණා අම්මා කියනවා.
මං ඒ පාර කර කර උන්න වැඩෙත් නවත්තලා කුස්සියේ දොරෙන් සාලෙට එබුණේ අම්මා මේ තරම් සාදරෙන් පිළිගත්තු අමුත්තා කවුද කියලා බලන්නයි. ඇරලා තිබුණ ඉදිරිපස දොරෙන් පෙනෙඋන,මිදුලේ නවත්තලා තිබ්බ සුදු පාට කාර් එක දැක්කාම ඇඒත් උන්නේ කවුද කියලා මට හිතා ගන්න අමාරු වුණේ නෑ. මට පුදුමත් හිතුණා. කාලාන්තරයක් තිස්සේ හැම විෂේශ දේකදිම මට මතක් වුන කලිඳු අයියා හම්බවුණාට පස්සේ මට එක පාරක් වත් මතක් නූනේ කොහොමද කියලා.
"පැංචී චුට්ටකට මෙහේ එන්න..." අම්මා මට කතා කලා.
අක්කා මගේ දිහා බැලුවා. "කවුද?"
"අම්මගේ පරණ ගෝලයෙක්" මම අත සෝදගෙන පිහින ගමන් කිව්වා.
සල්ලෙට යද්දි කලිඳු අයියා සාලේ අම්මත් එක්ක වාඩි වෙලා කතා කරමින් උන්නා. මාව දැක්කාම ඔහු මට සුහදව හිනා වුණා. මමත් පෙරලා හිනා වුණා.
"මං ඒත් හිතුවා පුතා අද එයි වත්ද දන්නේ නෑ කියලත්" අම්ම කිව්වා. මම අම්මා ලඟින් හිට ගත්තා.
"අද ඉරිදා නිසා මැඩම් ගෙදර ඇති කියලා හිතලයි ආවේ. මම හෙට උදේ ආපහු නුවර යනවා"
"ආ...ඇත්තද?" එහෙම කියාගෙනම අම්මා මගේ දිහාවට හැරුණා.
"පුතේ...මේ අයියට බොන්න මොනා හරි හදාගෙන එන්න"
"අනේ මැඩම් කරදර වෙන්න එපා"
"මොන කරදරයක්ද දරුවෝ? ගෙදරට ආපු කෙනෙක්ට තේ එකක දෙන එක මහ දෙයක්යැ. යන්න පුතේ"
මම කුස්සියට එද්දි මල්ලිකා නැන්දා නැහැ. අක්කා මේසෙ ලඟ වාඩි වෙලා අග්ගලාවක් කනවා.
"කවුද අප්පේ ඒ හැන්ඩි ගෝලයා?"
අක්ක ඇහුවේ අග්ගලාවෙන් බාගයක්ම කටේ පුරවගෙන.
"හා..හා, හෙමින් කන්න. හිර වෙයි. ගෝලයා ගැන වැඩි විස්තර මම දන්නේ නෑ. ඕන නම් අම්මගෙන්ම අහ ගන්න"
මල්ලිකා නැන්දා එද්දි මම කෝපි හදලා, කේක් කපලා තසිමකට දාලත් ඉවරයි. මම ඒ ටික ට්‍රොලියේ තියලා තල්ලුකරගෙන සාලෙට ගියා. හර්ෂි අක්කත් මගේ පස්සෙන්ම ආවා.
"අනේ මෙච්චර මොකට කරද වුණාද?"
කලිඳු අයියා මා දිහාත් බලන ගමන් කිව්වා.
"කරදරයක් නෑ" මම කිව්වා.
මම ඊට පස්සේ කලිඳු අයියටයි, අම්මාටයි කතා කර ගන්න ඉඩ දීලා අපේ වත්තට ආවා.
පිදුරුතලාගල කන්ද මුදුනේ ඉඳලා ග්‍රෙගරි වැව දිහාවට හෙමිහිට මීදුම ගලනවා. මුළු අහසම අළු පාටයි. ඉඳහිට වලාකුලු ඈත් මෑත් වෙලා නිල් අහස යන්තමට පෙනුනත් අද වහීවි කියලා මටැ හිතුණා. වැලේ වනලා තිබ්බ මේස රෙදි දෙක ආතට අරගෙන මම ගෙට ආවේ ඒ නිසා.
"වහිනවද?" මං එද්දි අම්මා ඇහුවා.
අප්පච්චිත් සාලෙට ඇවිත් කලිඳු අයියා එක්ක කත කරමින් හිටියා. මං රෙදි දෙක වේවැල් පුටුව උඩින් දාලා කාමරෙත ගියා. මීට මාස හය හතකට කලින් කලිඳු අයියා ඇවිත් තිබුණා නම් මීට වඩා කොච්චර වෙනස් විදියකට මම ඔහුව පිළිගනීවිද? ඒත් දැන් මගේ හිත උදාසීන වෙලා. කිසිම දෙයක් ගැන ආසාවක්, හැඟීමක් මට තිබුණේ නැති තරමයි. අපූර්වගේ ඈත් වීම මට හැම දෙයක්ම නැති කරපු ගාණයි. මම රේඩියෝව දාලා ඇඳේ ඇලවුණා.
"...මේ ගීතය ඔයාලා හැමෝම වෙනුවෙන්" නිවේදිකාව අසන්නෙකුට කියනවා. ඊලඟට මට ඇහුනේ හිත සීතල කරවන තාලේ සංගීතයක්. ඒක ඇහෙද්දිම මගේ හිතට බරක් පිවිසුනා වගේ.
'මට කඳුළු එන්න කලියෙන්....මං දමා යන්න...නෑ හයියක් මට නුඹ දැක දැක පලායන්න..' දීපිකා ප්‍රියදර්ෂනී ගායිකාවගේ සුගීතවත් කටහඬ හදවත විනිවිද ගියා. අනවසරයෙන්ම හිතට ආවේ අපූර්ව. හිත කීරි ගැහුණත් ඒ ගීතය අහන්න මට ඕන වුණා. මම ඇස් පියා ගත්තා.
'......තව එපා ඉන්න...ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න...මට කඳුළු එන්න කලියෙන්....මං දමා යන්න..."
මම ඇඳෙන් නැගිටලා බැල්කනියට ගියා. නාඬා ඉන්න මම උත්සාහ කලා. අඳුරු වුණ වටපිටාව, අළු පාට මීදුම, යාන්තමට වැහෙන වැහි පොද, මේ සේරම ආයෙමත් මගේ හිත අඳුරු කලා. මටත් කවදා හරි ඔය වගේ කියන්න වේවිද? අපූර්වව අමතක කරලා මම එහෙම දේකට කැමති වෙන්නේ කොහොමද? ඒ ඔක්කොමත් හරි, ඒත් ඉස්සෙල්ලම මම අපූර්වගෙන් ඈත් වෙන්නේ කොහොමද? සීතල සුලං රැල්ලක් ඇවිත් ගත සීතල කරගෙන යද්දි මම ආපහු කාමරේට ආවා.
"පැංචී" එතකොටම වගේ අම්මා මට කතා කලා.
මං ගිහින් පඩිපෙල මුදුනේ හිට ගත්තා.
"ඇයි අම්මා?"
"මේ ළමයා යන්න හදන්නේ එන්න"
මම පහලට බැස්සේ බොරු හිනාවක් මුවේ තවරගෙන.
"එහෙනම් මම ගිහිං එන්නම් නංඟි"
"හොඳයි අයියා"
කලිඳු අයියා එලියට බැස්සේ අප්පච්චිටයි, අම්මාටයි වැඳලා.
"ආයෙම ආවාම මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න පුතා. අයියත් එක්කම. මාමණ්ඩිවත් මතක් කලා කියන්නකෝ"
එහෙම කිව්වේ අප්පච්චි.
අප්පච්චි උන්නේ කලිඳු අයියා ගැන පැහැදීමෙන් කියලා මට නිකමට හිතුණා. ඔහුගේ කාර් එක ගේට්ටුවෙන් පිට වෙලා යනකල්ම අපි දොරකඩ හිටගෙන බලාගෙන හිටියා.
"අපරාදේ කියන්න බෑ හොඳ කොල්ලෙක් වගේ පේනවා" අප්පච්චි එහෙම කිව්වාම අම්මත් එකඟ වුණා.
"සූරිය ආරච්චිලා මං එදා ඉඳන්ම දන්නවා.ලඟදි ඔලුව උස්සපු බිස්නස්කාරයෝ වුණත්, හොඳ වැදගත් මිනිස්සු. ඔය සූරිය ආරච්චිගේ මස්සිනා මගේ හොඳ යාලුවෙක්. මාව බලන්න ඉස්පිරිතාලෙටත් ආවා. කවුදෑ දන්නේ මේ හාදයා එයාලගේ නෑදෑයෝ බව?"
කලිඳු අයියා ගැන මං හිතුවටත් වඩා අප්පච්චි පැහැදිලාදෝ කියලා මට හිතුණා.
ඊලඟ දවසේ උදේම අපි නුවර යන්න පිටත් වුණා. වාහනේ නුවරට ඇතුල් කරපු වෙලේ ඉඳලාම මම උන්නේ ඇස් පියාගෙන, හිතලම. තුවාල වුණ හිත ආයේ ආයෙම පාර ගන්න මට ඕන වුණේ නැහැ.
"ඉන්දි, නැගිටින්න.. ක්ලාස් එක ලඟට ආවා. මමත් මෙතනින්ම බහින්නම්. ඔයා ගෙදර එනවා නම් මම කැමතියි ඒත් ඉතිං මම බල කරන්නෙ නෑ" මම ඇස් ඇරියේ අක්කා මට කතා කරද්දි.
අපි දෙන්නම බැහැ ගත්තා.
"කීයටද නෝනා එන්න ඕන?" සුමනේ මාමා ඇහුවා.
"අද තුනටැ ඉවරයි. ඒ වෙලාවට එන්න"
"හොඳමයි"
මම අක්කා දිහට හැරුණා.
"මම ආවොත් මට හිත හදා ගන්න බැරි වෙයි අක්කා. ඒ නිසා මම එන්නේ නෑ. අපර්ණා අක්කව ආදරෙන් මතක් කලා කියන්න. පුංචම්මාවත්. මගේ ඇඳුම් ටික ගෙනියන්න මම සිකුරාදාට එන්නම්"
"නපුරි! මම තරහයි" අක්කා ඇස් පුංචි කරලා කිව්වා.
"අනේ ඉතිං තරහා වෙන්න එපා"
"පරිස්සමින් ඉන්න සුදෝ. මොනවාහරි දෙයක් කියන්න තියෙනවා නම් මට කතා කරන්න හොඳද? එහෙනම් මං යන්නම්, වෙලා යන්වනේ"
මම හිස වැනුවේ දුකින්. අක්කා මට කොච්චර ආදරෙද?
මම පංතියට යද්දි අමා ඇවිත් හිටියා. ඒත් මගේ කතාව කියන්න වුණේ කෑම කන වෙලාවේ.
"මට ඔයාලා දෙන්නා ගන හරි දුකයි මෙත්" කතාව අහපු අමා කිව්වා.
"මටත්"
"ඒත් අවංකවම ඔයා හිරු කරපු දේ නොකරන්න හිතපු එක ගැන මම සතුටු වෙනවා. ඇත්තමයි. අපි දෙමව්පියෝ වැරදියි කියලා, එයාලට රිද්දලා ආවත්, අන්තිමට අපට යන්න වෙන්නේ ඒ අය ලඟටමයි. එහෙම වෙනවාමයි"
"මම කවදාවත් හිරු කරපු දේ කරන්නේ නම් නෑ. ඒත් මට අපූර්ව අමතක කරන්නත් බෑ"
"හොඳම දේ කාලායාට ඉඩ දීලා බලන් ඉන්න එක" අමා අන්තිමට කිව්වා.
matath kawedahary me tike karane wey neda?? :'( :'(
ReplyDelete