Monday, October 10, 2011

විසි හතර වන දිගහැරුම


"මම ඔයා එනකල්මයි බල බල හිටියේ"
මම උදේ පංතියට යද්දි අමා උන්නේ දොරකඩ හිටගෙන. අමාගේ මූණේ තිබ්බේ කරදරයක ලකුණු.
"ඇයි මොකද?"
"හිරු අනුරාධ එක්ක පැනලා ගිහින්" අමා කිව්වාම මගේ ඇස් උඩ ගියා.
"මොනවා?"
"එයා ඊයේ මට කෝල් කලා. ඉන්නේ කොහෙද කියලා නං කිව්වේ නැහැ. බලන්න මෙත් මේ කෙල්ල කරගත්ත වැඩේ?"
"ඒක නේන්න්ං"
එදා  වරුවම අපි දෙන්න ගත කලේ හිරු ගැන ශෝක වෙන්න.
හවස අපූර්ව ඇවිත් උන්නේ ඔහුගේ වාහනේ. මම වාහනේට යන ගමන් අපූර්වටත් කිව්වා වෙලා තියෙන දේ.
"දැන් ඉතිං මොකද වෙලා තියෙන්නේ? ඒ දෙන්න බැඳලාලු ද?" අපූර්ව ඇහුවා.
"දන්නේ නෑ මොනවත්ම. හිරුගේ අම්මා පොලවෙ හැපෙනවා ඇති. එකම කෙල්ලනේ" මම කිව්වේ දුකෙන්.
අපූර්ව මට නගින්න දොර ඇරලා දුන්න ඒකට මුකුත් නොකියම.
"හිතන්නකෝ අපට ගෙදරින් අකමැති වුණා කියලා. අපි වුණත් ඔය ඔප්ෂන් එකට යන්න ඉඩ තියෙනවනේ" අපූර්ව කිව්වේ වාහනේ පනගන්වන ගමන්. මම ඔහු දිහා බැලුවා.
"එහෙම වෙයිද අපූර්ව?"
"කියන්න බෑනෙ. එහෙම වුනොත්, ඔයා එනවද මා එක්ක යන්න?"
අපූර්ව වාහනේ පාරට නොදා මා දිහා බැලුවා.
එක පාරටම ඒකට උත්තරයක් දෙන්න මට බැරි වුණා.
"එනවද?"
"මම දන්නේ නෑ අපූර්ව"
"අපේ ගෙදරින් නම් ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. මට ෂුවර්. ඒ නිසා මට ඔයාව මගේ ගෙදර එක්ක එන්න පුළුවන් ඕන වෙලාවක"
"මට ඒ ගැන හිතද්දිත් බයයි. අපි ඔය කතාව නවත්තමුද?"
අපූර්ව හිස වනලා කාර් එක පාරට දැම්මා.
"ඒක නෙවෙයි, මේ සෙනසුරාදා නාට්‍යයක් තියෙනවා අපේ ඉස්කෝලෙ. බලන්න යමුද?"
"නාට්‍යයක්? මොකක්ද?"
"අපේ ඕ. බී. කට්ටිය ඔර්ගනයිස් කරන්නේ. ඒ කියන්නේ අපි. පරාක්‍රම නිරිඇල්ලගේ චරන්දාස්. බලලා තියෙනවද?"
"නෑනෙ" මම හිස වැනුවා.
"එහෙනම් යමු බලන්න. කට්ටියම එක්ක යමු. මට ටිකට්ස් දෙකක් ෆ්‍රී හම්බෙනවා. ඉතිරි ඒවා සල්ලි දීලා ගමු. මමා නම් යන්න කැමතියි. ඩැඩාත් ඒවි. සික්ස් තර්ටි තියෙන්නේ"
"පුංචම්මගෙන් අහලා බලමු" මම කිව්වා.
අපූර්ව අපේ ගේට්ටුව ලඟ කාර් එක නැවැත්තුවා.
"ඔයා කවද්ද මට ආදරෙයි කියන්නේ?" බහින්න කලින් අපූර්ව ඇහුවා.
"කියන්න ඕන නෑනෙ. දන්නවනේ"
"එහෙම බෑ. කියන්න ඕන"
මම දඟකාර විදියට හිනාවෙලා කාර් එකෙන් බැස්සේ අපූර්ව මාව අල්ලගන්න හදද්දිමයි.
"කවදාහරි කියන්නම්"
එහෙම කියලා මම ගේට්ටුව ලඟට ඇවිත් අපූර්ව යනකල් බලාගෙන හිටියා.
ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි මට තේරුණා මොකක් නමුත් අමුත්තක් වෙලා තියෙන වග.ඉස්සරහ දොර ලඟ සෙරෙප්පු ගොඩක් ගලවලා තිබ්බා. දොර ලඟම වගේ හිටගෙන උන්නේ පුංචම්මා නිකටටත් අත තියාගෙන. හරියට ලොකු විනාසයක් වෙලා වගේ. මට දැනුනේ බයක්.
"පුංචම්මේ, ඇයි මොකද මේ?"
මම දොර ලඟ ඉඳන්ම ඇහුවා. ඈ බිම බලාගත්තා මුකුත් නොකියා. මං එතන ඉඳන්ම ගෙට එබුණා. මම එක පාරටම දැක්කේ අයියව.
"අයියා..." මට සතුටක් දැනුනත් නිමේෂයකින් ඒක නැති වුණේ අයියගේ මැලවුන මූණ දැකලා.අයියා උන්නේ තනියෙම නෙවෙයි. කවුද ඒ ලඟ ඉන්නේ?
මම පුංචම්මා දිහා ආයෙ පාරක් බලලා ගෙට ගියා. අයියා උන්නේ සැටියේ වාඩි වෙලා. අයියා ලඟටම වෙලා බියපත් මූණෙන් යුතුව හිටියේ, බෝල මූණක් තියෙන, ලොකු ඇස් තියෙන, ලස්සන, අහිංසක පාට ගෑණු ලමයෙක්. 'අපර්ණා?'
විදුලියක් කෙටුවා වගේ එක පාරටම හිතට ආවේ ඒ නම. අයියා මගේ බැල්ම මගෑරලා අහක බලා ගත්තත්, අර ගෑනු ලමයා මගේ දිහා බයෙන් වගේ බලාගෙන උන්නා. මම හිටියේ අන්ද මන්ද වෙලා. කිසි දෙයක් තේරුම් ගන්න බැරුව.
"අයියා...මොනවද මේ මෙතන වෙන්නේ?" හැමෝගෙම නිශ්ෂබ්දතාවය දරා ගන්න බැරිම තැන මං ඇහුවා. අයියා ම දිහාට හෙලුවේ අසරණ බැල්මක්. මම ආයෙ පුංචම්ම දිහාත් බැලුවා.
"ඇයි කවුරුවත් මට නොකියන්නේ?" මම හිටියේ නොඉවසිල්ලෙන්.
"මේ කවුද?" මම අර ගෑණු ලමයා දිහාට ඇඟිල්ල දික් කලා. අයියා නැගිටලා මගේ ලඟට ආවා.
"මං බැන්දා නංඟි" මට ඒ වචන ඇහුනේ හීනෙන් වගේ. මම ගල් ගැහුණා.
"ම්...මොකක්?"
"මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ පැංචි"
මට තරහක් ආවේ නෑ. ඒත් මම අයියව මගෑරලා ගිහිං සාලේ අනික් පැත්තේ තිබ්බ වේවැල් පුටුවකට බර වුණා. මගේ කනටැ ඇහුණ දේ මටම අදහාගන්න බැරි වුණා. ඒත් ඒක තමයි ඇත්ත. මගේ ඇස් යොමු වුණේ අර ගෑණු ලමතා දිහාවට. ඇය දැන් උන්නේ බිම බලාගෙන.
"මං එක්ක තරහා වෙන්න එපා පැංචි"
අයියා කතා කලේ පරාජිත ස්වරයකින්. මම අයියා දිහා බැලුවා.
"ඒත්...ඇයි?" මට අහන්න පුළුවන් වුණේ එච්චරයි. මට කතා කරගන්නත් බැරි තරම් කම්පනයක් දැනිලා තිබුණා. අයියගෙන් අහන්න දාහක් ප්‍රශ්ණ හිතට ආවා. මට ආයෙම බැලුනේ අර ගෑනු ලමයා දිහාව. හරිම සරල කොටු වැටුණ ගවුමක් ඇඳලා හිටියත් ඇය සුන්දර වග මට බැලූ බැල්මට පෙනුනා,
"ඔය ප්‍රශ්ණෙට උත්තර දෙන්න ගියොත් මුල ඉඳන් හැම දේම ඇවිස්සෙනවා"
අයියා කිව්ව්ම මම පුටුවෙන් ඉස්සරහට නැවුණා.
"ඒත් මට ඒක දැන ගන්නම ඕන"
මේ වෙලාවේ දොර ලඟ උන්නු පුංචම්මාත් ගෙට ඇවිත් වාඩි වුණා.
"දැන් ඉතිං සුදීප මොනවද කරන්න යන්නේ?"
ඇගේ කට හඬේ තිබ්බෙත් එක්තරා විදියක කේන්තියක්. මමත් උත්තරයක් බලාපොරොත්තුවෙන් අයියා දිහා බැලුවා. මට වැටහුන එකම දේ නම් මගේ අයියා හදිසියේම කසාද බැඳලා කියන එක විතරයි. ක්ලින් මොන මොන දේවල් සිද්ධ වුණාද කියලා මම දැනං උන්නේ නැහැ.
"මුලින්ම මං ජොබ් එකක් හොයා ගන්න ඕන. ඊට පස්සේ ගෙයක් හොයා ගන්න ඕන. එතකල් මට අපර්ණව තියන්න තැනක් නෑ. පුංචම්මා විතරයි ඉන්නේ මට උදව්වක් ඉල්ලන්න. මට ආයේ නුවර එලියේ යන්න බෑ කොහොමටවත්"
අයියා කිව්වා. මම අයියා ලඟට ගියා.
එහෙදි මොනා හරි ලොකු කරදරයක් වෙන්න ඇති කියලා මට හිතුණා.මට දැනුනේ බයක්.
"ඔයාගේ ජොබ් එකට මොකද වුණේ? කෝ ඔයාගේ වාහනේ? මට කියන්න"
අයියා මාව උරහිසින් අල්ලල ලඟට ගත්තා.
"මම සේරම දාලා ආවා නංඟි"
ඔහු එහෙම කියද්දි මම ගැස්සිලා ගියා. මම අයියගෙන් ඈත් වෙලා ඒ මූණට එබුණා.
"අයි ඒ? මොකද එහෙදි වුණේ? ඔයා ආයෙමත් අප්පච්චි එක්ක රණ්ඩු වුණාද?"
"ඔයා කලබල වෙලා නංඟි. අප්පච්චි නිසා තමයි මේ සේරම වුණේ. එයා මිනිස්සු දාලා අප්‍රණාගේ සීයට ගැස්සුවා. එයාලා උන්නු ගේ පැල කුඩු කරලා දැම්මා. ඒ ගැන කතා කරන්න ගියාම බල්ලෙක් වගේ මාව රස්සවෙන් දොට්ට දැම්මා. මම නිසා මේ අහිංසක කෙල්ලටයි විඳවන්න වුණේ. සීයා දැන් නුවර හොස්පිටල් එකේ"
අයියා කිව්වේ ආවේගශීලීව. අයියා හති අරිනවා. මට තේරුනා අයියගේ හිතේ තිබුණ.එතකොටම මට ඇහුණේ ඉකිබිඳුම් හඬක්. මම එකපාරම බැලුවේ අපර්ණා දිහා. ඈ දණහිසේ මූණ ඔබාගෙන අඬමින් උන්නා. මට දැනුනේ ලොකු අනුකම්පාවක්. මම අයියා දිහා බැලුවා. ඒ මූණේ තිබ්බෙත් ලොකු දුකක්.
"පේනවා නේද? දැන් දවස් දෙකක් තිස්සේ ඔහොමයි. මම වෙන මොනවා කරන්නද? මම නිසයි අපර්ණැට සේර්ම ප්‍රශ්ණ. ඉතිං මම කරපු දේ වැරදිද? මං දන්නවා මේ ප්‍රශ්ණ නිසා ඔයාටත් හිතේ කරදර ඇති වෙන බව. මට සමාවෙන්න නංඟි ඔය හිත් රිද්දනවට"
අයියා කිව්වේ දුක්බර හඬකින්. මගේ හිත තිබුණේ බර වෙලා. අයියව සනසන්න කියන්න දෙයක් මට හිතා ගන්න බැරි වුණා.
කවදාවත් නොදැනුන විදියේ වගකීමක් මගේ හිස මත පැටවිලා වගේ මට දැනුනා.මට එක පාරටම මතක් වුණේ ගෙදර. එහේ දැන් මොන තත්වයක් ඇත්ද? මේ හැම දෙයක්ම හදන්න, ගෙදර අයට කතා කරන්න, ප්‍රශ්ණ වලට විසඳුම් හොයන්න වෙන්නේ දැන් මට බව මම දැනගෙන හිටියා. අම්මා දැන් මොනා කරනවා ඇත්ද? හොඳටම කලබල වෙලා ඇති. අප්පච්චිත් යකා වැහිලා වගේ ගෙදර සේරම කණපිට පෙරලලා ඇති. සේරම් උහුලගෙන අම්මා කොහොම ඉන්නවා ඇත්ද කියලා හිතද්දි මගේ පපුව පත්තු වුණා. අම්මට කතා කරලා බල්න්න මට ඕන වුණා.
"ගෙදර දැන් මොන තත්වයක් අති වෙලාද දන්නෑ" පුංචම්මා කිව්වේ මගේ හිත කියෙව්වා වගේ. "අප්පච්චි දැන් දුම්මල වරම අතට ගත්තු කපුවා වගේ ආවෙස වෙලා ඇති. උඹලා කරන වැඩ වලින් අර අහිංසක අම්මා තමයි තැලෙන්නේ" මං පුංචම්මා දිහා බැලුවා.
"අපි ඉන්නවට පුංචම්මා අකමැති නම් කියන්න අපි යන්නං"
අයියා කිව්වාම පුංචම්මයි මමයි දෙන්නම ගැස්සුනා වගේ වුනා. අයියා ඉක්මණට තීරණ ගන්නේ අනික් අයත මොනවා වෙයිද , මොනා හිතෙයිද කියලා නොහිතා. මට පුංචම්මා ගැන දුක හිතුණා.
"ඔන්න ඔය නිසයි පුතේ උඹට වැරදෙන්නේ. මම දැං එහෙම දෙයක් කිව්වද? පොඩ්ඩබැරි වුණ ගමන් අර මොකාද වගේ කලබල වෙනවා. ඉවසන්න බෑ. උඹලා වැඩ කරන්නේ ඊලඟ මොහොත ගැන හිතලා නෙවෙයි.දැන් ගැන විතරයි හිතන්නේ. හදිසි වෙලා තීරණ ගන්නවා. වැරදුනාම පලි සමාජෙ. දැන් බලාපන් ඒ හින්දා නේද අර කෙල්ලෙක් අතන අනාත වෙලා ඉන්නේ? දෙමව්පියන්ට දහදුක් විඳින්න වෙලා තියෙන්නේ?
පුංචම්ම කිව්වේ හිත් වේදනාවෙන් වගේ. අයියා මුකුත් නොකියා බිම බලාගෙන උන්නා. හරියට වැරැද්දක් කරපු පොඩි එකෙක් වගේ.
"ඔහොම කතා කරද්දි කරන උදව්වක් වත් කරන්න හිතෙනවද මිනිහෙකුට? හරි දැන් ඉතිං වුණ දේ වුණා. ඉදිරියට කරන් දේකුයි හිතන්න ඕන. අප්පච්චිත ආරංචි වුණොත් නං අපේ නෑකමුත් ඉවරවෙයි. ඒත් මට පුතාව අහක දාන්න බෑ, අහිංසක කෙල්ලෙකුත් එක්ක. මටත් දුවෙක් ඉන්න නිසා. ඉක්මණට පිලිවෙලක් වෙනකල් දෙන්නම මෙහේ ඉන්න එකයි ඇත්තේ"
පුංචම්මා අන්තිමට කිව්වා.
"දෙන්නටම ඉන්න බෑ පුංචම්මේ. මට කරන්න වැඩ හුඟක් තියෙන නිසා මම හිතාගෙන ඉන්නේ කොලඹ නවතින්න. එතකල් සතියක් විතර අපර්ණාව තියා ගත්තොත් ඒ ඇති.කොහොමටත් මම වෙන ගෙයක් ගන්නවා. අපර්ණා තනියෙම නවත්තන්න බෑනේ ඒත් මේ තත්වෙන්"
අයියා පෙරට වඩා නිවිච්ච ස්වරයෙන් පුංචම්මට කිව්වා.
මේ අතරේ හර්ෂි අක්කත් වැඩ අහවර වෙලා ආවා.
"ආ..සුදීප! කාලෙකට පස්සේ. මොකද හදි- මේ කවුද?"
අක්ක එක පාරටම අපර්‍රණා දිහා බලලා අපි දිහා බැලුවෙ ප්‍රශ්නාර්ථයක් දල්වගෙන.
"ආවා විතරයිනේ හර්ෂි තාම. යං මම විස්තරේ කියන්නම්. ඉන්දි ඔය ලමයව කාමරේට එක්ක ගිහිං ඔයත් ඇඳුම් මාරු කර ගන්න. සුදීප එන්න කුස්සියට. උදේ හිටන්ම මුකුත් හරියට කාලත් නැතිව ඇති නේ.
පුංචම්මා කිව්වා.
"නා ගන්න ඕන පුංචම්මා ඉස්සෙල්ලම" අයියා එහෙම කියාග්නම අපර්ණා ලඟටැ ගියා.
"ඔයා නංඟි එක්ක උඩට ගිහිං මූනකට වත් හෝදගන්න. බෑග් එකත් අරන් යන්න"
අයියා කිව්වාම අපර්ණා කීකරු වෙලා නැගිට්ටා.
"ඉන්න මම ගන්නම්" මම නැවිලා ඇගේ පුංචි ගමන් මල්ල අතට ගත්තා. "එන්න අක්කේ..."
අපර්ණා හෙමින් මං පස්සෙන් ආවා. මට ඇය ගැන දැනිලා තිබ්බේ ලොකු අනුකම්පාවක්. ඈට දැන් ඉන්නේ අපේ අයියා විතරමයි ආරක්ෂාවටයි, හැම දේටමයි. අසනීප වෙලා ඉන්න සීයා මොනවා කරන්නද?
මට මතක් වුණේ අපේ සීයා පප්පව. මට නං හැමෝම ඉන්නවා. ඒත් සීයා විතරක් ඉන්න අපර්ට ඒ සීයත් අසනීප වුණාම කොයි තරම් අසරණ කමක් දැනෙනවා ඇත්ද? මම පිටිපස්ස හැරිලා බැලුවා. අපර්ණා එක පාරටම නැවතුනේ බය වෙලා වගේ. ඈට අපේ අයියා වහ වැටුණ එකේ අරුමයක් නෑ.  අපර්ණාට තිබුණ්Eඅ හරිම අහිංසක ලස්සනක්. ඇගේ ලස්සන මූණ, කරල් දෙකට ගොතලා ඉන දක්වාම වැටුණ දිග හිසකේ නිසා තවත් හැඩයි කියලා මට හිතුණා.
"බය නොවී එන්න අක්කා. මම ඔයාට බනින්නේ නැහැ. අයියා ඔයාව බය කලාද මම නපුරුයි කියලා?"
මං උන් තැනම හිටගෙන ඈට කතා කලා. මට ඕන වුණේ ඈත් එක්ක සුහද වෙන්න. මොනා වුණත් දැන් ඇය මගේ නෑනා නේ. ඈ ලාවට හිනා වෙලා හිස වනලා නෑ කිව්වා. ඊට පස්සේ ඇය පඩිපෙල නැගගෙන ආවා.
මම කාමරෙට ඇවිත් බෑග් එක මේසය උඩින් තියලා බලද්දි ඇය කාමරේ දොර ලඟ හිටගෙන කාමරය සිසාරා බලමින් උන්නා.  
"අක්කට මහන්සි ඇති නේ. ඒ නිසා ගිහිං ඉස්සෙල්ලම නා ගන්න ඇඳුම් තියෙනවා නේද?"
අපර්ණා අක්කා ආයෙම මා දිහා බැලුවේ බයෙන් වගේ.
"ඔ..ඔව්"
"එහෙනම් යන්න අර තියෙන්නේ බාත් රූම් එක. ආ... මතක් කරලා අනෙක් දොර ලොක් කර ගන්න"
මම නාන කාමරේ පෙන්නුවා. අපර්ණා ඒ දිහා බලලා ආයෙම මං දිහා බැලුවා.
"ඇයි අක්කේ?"
"ඔයාත් දැන් නේ ආවේ, ඔයා මූණ හෝදන්නේ කොහොමද?"
අපර්ණා අක්කා ඇහුවාම මම සුහදව හිනා වුණා.
"මම ඔයා ආවාම නා ගන්නම්කෝ. ඔයා යන්න"
අපර්ණා බෑග් එක ඇරලා ඇඳුම් අරගෙන නාන කාමරේට වැදුණා.
මං ලොකු සුසුමක් හෙලලා ඇඳ උඩින් වාඩි වුණා. ඉදිරියට මොනවා වේවිද? අපච්චි දැං මොනවා කරනවා ඇතිද? අප්පච්චි කවදාවත් අයියට සමාවක් දෙන්නේ නැති වෙයි කියලා මට හිතුණා. හර්ෂි අක්කා මගේ කාමරේට එබුණේ මෙවෙලේ.
"කෝ නෑණණ්ඩි?" අක්කා ඇහුවේ රහසින් වගේ.
"ඇතුලේ නානවා" මමත් රහසින්ම කිව්වා.
අක්කා ඒ පාර ඇවිත් මගේ ලඟින්ම වාඩි වුණා.
"මොනවද කෙල්ලේ මේ වෙන්නේ?"
"අනේ මංදා අක්කේ. මට හිතාගන්නවත් බෑ ගෙදර දැන් මොන තත්වයක් ඇත්ද කියලා. අම්මට අප්පච්චි ගහලද දන්නෙත් නෑ. ගෙදරට කතා කරලා බලන්න ඕන"
අක්කා අත් දෙක ඒකට අතුල්ලමින් කල්පනාවකයි උන්නේ.
'සුදීපගේ හදිස්සිය වැඩි නේ හැමදේටම. දැං ඉතින් කරන්න දෙයක් නෑ"
මම ඉක්මණට බැලුවේ නාන කාමරේ දිහා.
"හෙමිං, හෙමිං. ඇහුනොත් පව් දුක හිතෙයි. මට නං පේන්නේ අහිංසකයි වගේ." මම කිව්වා.
"හැමෝම අසරණ වුණාමඅහිංසකයි තමයි ඉන්දි. මොනා වුණත් අපි වගේම කෙල්ලෙක් නේ. ඊටත් වඩා එයා දැන් අම්මා කෙනෙක් නේ"
මට නැගිටුණේ ඉබේටම. හිතේ දහසක් අකුණු පිපිරුවා. "මොනවා???"
"දෙයියනේ මොනාද මං මේ අහන්නේ?"
අක්කා නැගිටලා මාව ඇඳෙන් වාඩි කෙරෙව්වා ආයෙම.
"මම හිතුවේ ඔයා දන්නවා ඇති කියලා. එයා ප්‍රෙග්නන්ට්, මාස දෙකක්ලු. ඔයා දැන් කලබල නොවී ඉන්න. කලබල වුණා කියලා කරන්න දෙයක් නෑනෙ. කිසි දෙයක් වෙනස් වෙන්නෙත් නෑනෙ. කාටවත් මේවට වැරදි කියන්නත් බෑ නංඟි"
මම අත්ලෙන් කට වහ ගත්තා. මට කිසිම දෙයක් අදහා ගන්න බැරි වුණා. අයියා ගැන මගේ හිතට ආවේ කලකිරීමක්. ඔහුට මීට වඩා හිතන්න තිබ්බා නේද කියලා මට හිතුණා.  මම ඇස් පියා ගත්තා. මට මැවිලා පෙනුනේ අපේ අම්මගේ මූණ. අම්මා දන්නවා නම් පපුව පැලිලා මැරේවි. මට ඉකි ගැහුණා. හර්ෂි අක්කා මාව තුරුල් කර ගත්තා. ප්‍රශ්ණ සේරම එනකොට එන්නේ එකපිට. ජීවිතේ කටුක බව මට මීට කලින් කවදාවත් දැනිලා තිබුණේ නැහැ. මට මහා අසරණකමක් දැනුණා.
"අම්මා දන්නවානං..."මම අඬ අඬම කිව්වේ එච්චරයි.
"දැන් ඉතිං ඔයා අඬන්න එපා. අපි අම්මට කෝල් කරලා බලමුකෝ. ඔය කඳුලු පිහ ගන්නකෝ හොඳ ලමයා වගේ. දැන් අපර්ණාත් එලියට එයි, දැක්කොත් ආයෙම එයත් අප්සට් යයි නේ"
"අනේ ඇත්තට මේ දෙන්නා තාම ඇඳුම් මාරු කරගෙන නෑනෙ: අපි අතරට පුංචම්මා එද්දි මම හොඳ වෙලාවට කඳුළු පිහගෙනයි උන්නේ.
"අපර්ණා අක්කා තාම නානවා" මම කිව්වා.
"ඕන් අයියා නාලා ඉවරයි, දෙන්නා එක්ක ඇවිත් පහල එකෙන් වත් මූණ හෝද ගන්න. හර්ෂි, සුදීපලට පහල ලොකු කාමරේ ලෑස්ති කරලා දෙන්න එන්න"
එහෙම කියාගෙන පුංචම්මා ආයෙම පහලට ගියා.

මම හවස ගෙදරට කතා කරන්න උත්සාහ කලත් කාගෙවත් ෆෝන් වැඩ කලේ නැහැ. මමයි, අක්කයි සෑහෙන පාරක් උත්සාහ කලත් වැඩක් වුණේ නැහැ. හැබැයි අප්පච්චිට අපි කත කලේ නැහැ බයටම. මට අයියාගෙන් මේ වුණ දේවල් ගැන ආයෙම අහන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ. කටක් ඇරලා මම කොහොමද අපර්ණාට වෙලා ති යෙන දේ ගැන අහන්නේ? අයියා ගැන කෙසේ වෙතත් අපර්ණා ගැන නම් මගේ හිතේ තිබුණේ ලොකූ අනුකම්පාවක්. එදා රෑ වෙනකල් මමයි, හර්ෂි අක්කයි සාලෙට වෙලා අපර්ණත් එක්ක කතා කරමින් හිටියා.  වැඩියෙන්ම කතා කලේ අපි දෙනා. අපර්ණා කතා කලේ හරි අඩුවෙන්.
"වැඩිය දේවල් ගැන හිතන්න එපා අපර්ණා. අපෙන්වත් අම්මාගෙන්වත් ඔයාට වෙනසක් වෙන්නේ නෑ. මේක ඔයාගෙම ගෙදර කියලා හිතාගෙන නිදහසේ ඉන්න"
හර්ෂි අක්කා කිව්වාම අපර්ණා ලෙන්ගතු හිනාවක් පෑවා.
"මට සුදීප කිව්ව විදියටම ඔයාලා හරිම හොඳයි. මට බයක් නෑ, එත් මට දුකයි සුදීප ගැන. මං නිසා එයාට කොච්චර කරදරද?"
අපර්ණා නෙත් පහලට යොමාගෙන කිව්වා.
"ඕවා ඔහොම තමයි. ඇටිකෙහෙල් කෑවානං විඳවපන් උගුඩුවෝ කිව්වලු. වෙච්ච දේ දැන් වෙලා ඉවරයි. බයවෙන්න එපා. සුදීපයා මොනවා හරි කරයි. ඔහොම හිටියට දක්ෂයා. ඔයා ඉතිං අපට වඩා දන්නවා ඇති නේ එයා ගැන. නැත්තං මෙහෙම කෙල්ලෙක් උස්සං ඒවියැ?"
අක්කත් මොනවා කියනවද මන්දා. අපර්ණා අක්කට හිනා ගියා. මේ අතරේ අපට සංගීත රාවයක් ඇහුණා.
"කවුද ඒ රෙකෝර්ඩ් බාර් එකක් පටන් අරන් තියෙන්නේ මේ රෑ?" අක්කා කිව්වේ ජනේලෙන් එබෙන ගමන්.
අක්කා ජනේලේ ඇරියාමයි තේරුණේ එ අපූර්වගේ ගේ පැත්තෙන් ආපු හඬක් බව. මම උනන්දුවෙන් ඇහුම්කන් දුන්නා. වාදනය වෙමින් තිබුණේ බ්‍රයන් ඇඩම්ස් ගේ 'ප්ලීස් ෆොර්ගිව් මී' ගීතය. ඒ ශබ්දය අපට හොඳින්ම ඇහුණා අපේ ගේ ඇතුලේ දාලා වගේ.
"අපූද කොහෙද. පිස්සු තද වෙලා වෙන්න ඇති" හර්ෂි අක්ක කිව්වේ ජනේලේ වහලා මගේ දිහා බලන ගමන්. මම අහක බලාගත්තා.
"කවුද අපූ කියන්නේ? අපර්ණා අක්කා ඇහුවා.
"මේ අපේ එහා ගෙදර ඉන්න මල්ලි. මල්ලි කිව්වට ඉතිං මස්සිනා වගේ තමා" හර්ෂි අක්කා කිව්වම මම ඉක්මණට එයා දිහා බැලුවේ රවලා.
"ඒ කිව්වේ?" අපර්ණා අක්කට තේරිලා නෑ.
"ඒ කිව්වේ, ඒ තරම් කිට්ටුයි කියලා" අක්කා කිව්වා.
හර්ෂි අක්කා මට අමුතු හිනාවක් පාලා කිව්වා. මම රතු වෙන්න ඇති.
"මම අයියාට කතා කරලා එන්නම්" මම එහෙම කියලා එතනින් නැගිට්ටේ තව හිටියොත් හර්ෂි අක්කා මොනවා කියයිද නොදන්න නිසා.
අයියා උන්නේ එලියේ ඇහැල ගහ යට තිබුණ සිමෙන්ති බංකුව මත වාඩි වෙලා. මම එයා ලඟට ගිහින් ඉඳගත්තා. දැන් පෙරටත් වඩා හොඳට අපූර්ව දාලා තිබුණ ගීත මට ඇහුණා.
'මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී...
සමු ගෙන ගොස් යලි හැරුණෙමි සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී..."
ඒ පාර වාදනය වුණේ ඒ ගීතය. හරියටම අපටම ලියුවා වගේ. මම අයියට හොරා අපූර්ව උන්නු උඩ තට්ටුවේ කාමරේ බැල්කනිය දිහා බැලුවත් ඔහු පේන්න නම් උන්නේ නැහැ.
"පැංචි, මොකෝ මේ, තාම නිදි නැද්ද? කෝ අර ඩබල?" අයියා මගෙන් ඇහුවා.
"ආන් අරහේ ඉන්නවා, සාලේ"
"හර්ෂිට අහු වුණා නම් ඉතිං හරි. එයාගේ ගාණට ම අරන් තමා නවත්තන්නේ" අයියා කිව්වේ සැහැල්ලුවෙන්. ඊට පස්සේ ඔහු සුසුමක් හෙලුවා.
"හ්ම්. අපි ඇවිත් ඔයාලට සැනසිල්ලේ නිදා ගන්න තිබ්බ එකත් නැති කලා නේද?"
"පිස්සුද? එහෙම නෑ අයියේ"
"අපර්ණා ගැන හිතෙන්නේ මොනවද? අයියා අහනවා.
"එයා හරිම හොඳයි වගේ තමා පේන්නේ. හැබැයි ටිකක් බය වෙලයි ඉන්නේ. පව්" මම කිව්වා.
"ඔව්. අපර්ණා හරිම අහිංසක කෙල්ලෙක්. බර්ගර් වුණාට. එදා ඉඳන්ම හරියට දුක් වින්ඳා. අප්පච්චි කාපු දෙයින් පස්සේ එයා බය නූනොත් තමා පුදුමේ. ඒත් මම එයාට වැඩිකල් තව දුක් විඳින්න දෙන්නේ නෑ"
අයියා කිව්වාම මම එයාගේ මූණ දිහා බැලුවා. ඇත්තටම ආදරේ මොන තරම් පුදුමාකාරද? ජීවිතේට දැකලා නැති දෙන්නෙක් වුණත් මුණගැහිලා ආදරේ ඇති වෙන්න පුලුවන්. ඊට පස්සේ ඊට වඩා වටින දෙයක්  ලෝකේ තව නැතිව යනවා. ආදරේ පුදුමාකරටත් වඩා මායාකාරීයි කියලා මට හිතුණා. නැත්නම් කොහොමද හදා වඩා ගත්තු දෙමව්පියන්ට වඩා අද ඊයේ හම්බවුණා කෙනෙක් ලොකු වෙන්නේ?  ඒ මායාවෙන් අපි වශී වෙන නිසා නෙවෙයිද?
"මොකද මගේ මූණේ පෙරහැරක් යනවද?" අයියා ඇහුවා.
"නෑ, මම මේ කල්පනා කලේ වෙච්ච දෙවල් ගැන. ඒක නෙවෙයි, කෝ අයියගේ වාහනේ?" මම ඇහුවා.
"මං කිව්වනේ පැංචි සේරම දාලයි ආවේ කියලා" අයියා කිව්වා.
"මල් ලියකම් රැඳි...පෙම් සිතුවම් ඇඳි..." ඒ පාර අපූර්ව වාදනය කරන්නේ ඒ ගීතය. මම ආයෙමත් ඔහුගේ ගෙවල් දිහා බැලුවා.
"මගේ ෂෙයාර්ස් මම විකුණනවා නංඟි. ඒකටයි මම කොලඹ යන්නේ. ජොබ් එකක් ගැනත් බලන්න එක්කම. ඒක නම් අමාරු වෙන එකක් නෑ-" අයියා කියාගෙන කියාගෙන යනවා.
ඒත් මම හිටියේ වෙනම ලොකෙක.
'පිච්ච මලින් සැදි ලෝකය අපටයි...ස්වප්න පරාදීසේ...සුතංගනාවියනේ..."
ඒ ගීතයේ පදවැල් ඇහෙද්දි මගේ ඇඟේ හීගඩු පිපුණා. ඒක ඒ තරමට මගේ හිත ඇතුලට ම දැනුනා. කොච්චර ලස්සන පදවැලක්ද?
"ලස්සන සිංදු වගයක් දාලා තියෙන්නේ. එහා ගෙදර නේද?" ඒ පාර අයියත් ගීත අහන්න එකතු වෙලා.
"හ්ම්. ඒ වගේ තම පේන්නේ" මම කිව්වා. හරියට දන්නෙම නෑ වගේ.
"පැංචි මට සමාව දෙනවද?" අයියා අහනවා.
"මම? අයියා මට වැරැද්දක්  කලේ නෑනෙ"
"මං නිසා ගෙදරට වුණේ අවනම්බුවක්. අප්පච්චි මට කවදාවත් සමාව දෙන එකක් නෑ. මට අම්මා මතක් වෙද්දි හරි දුකයි. අම්මා විඳවනවා ඇති"
අයියා කිව්වේ දුකෙන්.
"ගිය දේ දියා අයියේ. දැන් දුක් වුණා කියලා ඕවා ආයෙම හදන්න බෑනෙ. අනික අපර්ණා අක්කා දැන් ඉන්න හැම තත්වෙකටම වග කියන්න ඕන ඔයා. ජීවිතේ ආයෙමත් මෙතනින් පටන් ගන්න අයියා. අඩු ගාණේ අලුත් දෙයක් හදා ගන්න වත් පුළුවන් වෙයි" මම කිව්වේ මට හිතුණ දේ.
"පැංචි පණ්ඩිත ආච්චිඅම්මෙක් වෙලා නේ" අයියා මගේ හිස අත ගාන ගමන් කිව්වා.
"රොනට ඇදෙන සමනලියක..." ඊලන්ගට වාදනය වුණේ ඒ ගීතය.
"මොනා වුණත් මාර ටේස්ට් එකක් තියෙන කෙනෙක් වගේ සිංදු අහන්නේ" අයියාත් ඒක අහගෙන ඉඳලා කිව්වා.
මම මටම හිනා වුණා. ඒ අසන්නා කවුද කියලා අයියා දන්නවා නම්?
"මට නිදිමතයි අයියා" මම නැගිට්ටේ එහෙම කියාගෙන. මට ඇත්තටම ඕන වෙලා තිබ්බේ අපූර්වත් එක්ක ගෙවුණ වෙලාවල් මතක් කරමින් නින්දට යන්න.
"ඔව් ඔව්. යන්න ගිහිං නිදා ගන්න. හෙට ක්ලාස්ස් නේ. ගුඩ් නයිට් පැංචි"
"ගුඩ් නයිට් අයියා"
මම ගේ ඇතුලට එද්දිත් අක්කලා දෙන්නා තාමත් සාලෙ.
"මම නිදා ගන්න යනවෝ. ගුඩ් නයිට් දෙන්නටම" මම ඒ දෙන්නට කියාගෙන උඩට ඇවිත්, ලයිට් නිවලා ඇඳට වැටුණා.
'ගීතයක් සේ මතු වියන් නොසිතූ වෙලාවක...
හීනයක් සේ පෑවියන් තනි වූ විරාමෙක...
මා හැර දමා ගිය මියුලැසී..'
අසංඟගේ මම ආසම ගීතයක්. ඒත් ඒක විරහ ගීයක්. අපූර්ව ඇයි ඒකත් වාදනය කරන්නේ? මම ගීතය අහගෙනම ඇස් පියා ගත්තා. මට අපූර්වගේ මූණ මැවිලා පෙනුනා. ඒ එක්කම හිතට ආවේ බයක්. මටත් අයියා කරපු දේම කරන්න සිද්ධ වුනොත්? අප්පච්චි අපූර්වට කවදා හරි කැමති වෙයිද? එහෙම නූනොත්, මට අපූර්ව ව අමතක කරන්න පුලුවන් වෙයිද? බෑ. බෑ. මම කොහොමද එහෙම කරන්නේ? මම කොහොමහරි අප්පච්චිව කැමති කර ගන්නවා. මට අපූර්ව නැති ජීවිතයක් තියා එක මොහොතක් ගැන වත් හිතන්න පුලුවන් වුණේ නැහැ. අපූර්වට මම කොච්චර ආදරේද!

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....