Thursday, October 13, 2011

විසි හය වෙනි දිගහැරුම


"පැංචි එහෙනම් මම ගිහිං එන්නම්"
අයියා සෙනසුරාදා උදේ කොලඹ යන්න ලෑස්ති වුණා. මම අයියා දිහා බැලුවේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන.හැමදේම වගේ නැති වුණාට පස්සේ අයියා අසරණ වෙලා උන්නු හැටි දැක්කාම මගේ හිත වාවන්නේ නැතිව ගියා. අයියා මගේ නලල ඉම්බා. අපර්ණා නම් හොඳටම ඇඬුවා. හිත පාලනය කරගෙන හිටියේ අක්කයි, පුංචම්මයි විතරයි.
"අපර්ණාව බලා ගන්න. මම දවස් දෙක තුනකින් එනවා. කොලඹ වැඩ ඉවර වුණ ගමන්ම එන්නම්. අඬන්න එපා අපර්ණා, මම කෝල් කරන්නම්" අයියා කිව්වේ අපර්ණාගේ මූණ දෝතින්ම අල්ලගෙන.
උදේ හය වුණත් තවමත් එලිය වැටිලා තිබුණේ නැහැ. අයියා මද අඳුරෙම එලියට බැහැලා යන හැටි මම බලාගෙන උන්නේ අපර්ණා අක්කවත් වාරු කරගෙනමයි. මට මතක් වුණේ අපි ඉස්සර ගෙදර උන්නු විදිහ. අප්පච්චි සැර වුණත් අපි කොච්චර සතුටින් හිටියද? අයියා වුණත් හිටියේ මොන තරම් සැහැල්ලුවෙන්ද? ඒ සේරම හොරු අරං ගියා වගේ. මට ආයෙම ගෙදර මතක් වුණා. අපට නොකිව්වට එහේ මොනවා වෙලා ඇතිද?
"අම්මේ...මේ මම"
අම්මාගේ ෆෝන් එක යන්තම් වැඩ කරනවා.
"පැංචි...කොහොමද?"
"හොඳයි අම්මා. මම දවස් කීයක් නං ගන්න හැදුවද? මොකද වෙලා තිබ්බේ?"
අම්මා සුසුමක් හෙලනවා මට ඇහුණා.
" මේ දවස් වල වැඩ වැඩියි පුතේ. අප්පච්චිත් ඉන්නේ හිත හොඳකින් නෙවෙයි මේ අයියගේ වැඩ නිසා. අයියා ඔහේ ආවද?"
අම්මා ඇහුවා.
"නෑ. ඇයි අම්මා?" මම බොරුවක් කිව්වේ හැමෝම බේරන්න ඕන නිසා.
"නෑ. මුකුත් නෑ. ඔයා ගෙදර ආපු දවසක විස්තර කතා කරන්න බැරියැ. මම මේ ක්ලාස් එකේ ඉන්නේ. පස්සේ ගන්නම් ආයේ"
අම්මා මට මුකුත් කියන්නේ නැහැ. සමහරවිට මම කලබල වේවි කියලා වෙන්න ඇති. මට අම්මා ගැන දුකකුත්, ලොකු ආදරයකුත් දැනුනා.
"අම්මා හොඳින් නේද?"
"ඔව්.අනික් අයත් සේරම හොඳින්. ඔයා මෙහේ දෙවල් ගැන බය වෙන්න ඕන නෑ. ඉගෙනීමේ වැඩ කරගන්නකෝ හොඳින්. තියන්නම් පුතේ. පුංචම්මලා මතක් කලා කියන්න. බුදු සරනයි"
අම්මා  ෆෝන් එක තිබ්බා.
සමහරවිට ගෙදර ඒ තරම් ලොකු ප්‍රශ්ණයක් නැතුව ඇති කියලා මට හිතුණා. ලොකු දෙයක් වුණා නම් අම්මා පුංචම්මට නොකියා ඉන්නේ නෑ. මම එහෙම හිතලා හිත හදා ගන්න උත්සාහ කලා.   
හවස හය වෙද්දි අපි සේරම ලෑස්ති වුණා නාට්‍යය බලන්න යන්න. මම ඇඳගත්තේ මම ආසම කරපු, අප්පච්චි පිටරටකින් ගෙනැල්ලා දීපු සුදු පාට රැලි ගවුමක්.
"ෂා...ඔයා අද හරිම ලස්සනයි නේ. හරියට ඉද්ද මලක් වගේ" එහෙම කිව්වේ හර්ෂි අක්කා.
"අනේ බොරු"
"නෑ, නෑ, ඇත්තටම ලස්සනයි තමා" අපර්ණාත් කිව්වා.
මම ලැජ්ජාවෙන් හිනා වුණා.
"සුධර්මා මෙන්න කට්ටිය ඇවිත්"
අපි අපූර්වලගේ ගෙදර යද්දි අන්කල් විතරක් ලෑස්ති වෙලා සාලේ හිටගෙන උන්නා.
"ආ...එන්න එන්න. අපි ලෑස්ති වෙලා ඉවරයි. පුතා...කම් සූන් විල් යූ"
සුධර්මා ඇන්ටිත් සාලෙට ආවා. අපට ඇහුණා අපූර්වත් පඩිපෙල බැහැගෙන එන හඬ.
අපූර්වගේ ඇස් සාලේ පුරාම දුවලා ඇවිත් නතර වුණේ මගේ ලඟ. මම බිම බලා ගත්තා.
"ජනගහනය වැඩි නිසා, මම දීපාවයි, මගේ කෙල්ලවයි අරං මගේ වාහනේ යන්නම්. පුතා අනික් කෙල්ලෝ තුන් දෙනා අරන් එනවද කාර් එකේ?"
අන්කල් අපි දිහා බලලා කිව්වම සේරටම හිනා ගියා.
"හා ඩැඩා"
කාර් එකට නගිද්දි මම උත්සාහ කලේ අපර්ණත් එක්ක පිටිපස්සෙන් නගින්න.
"මේ, මේ, මට නම් බෑ අනුන්ගේ තැන් වල ඉඳ ගන්න. යනවා ගිහිං නගිනවා" හර්ෂි අක්කා හෙමින් කියලා මාව තල්ලු කලා. මම බය වුණේ අපර්ණා  දැන ගත්තොත් අනිවාර්යෙන්ම අයියත් දැන ගන්න නිසා අපි ගැන. ඒත් අපර්ණාට ගාණක් නෑ වගේ කියලා මට හිතුණා. අපි සේරම නැග්ගට පස්සේ අපූර්ව වාහනේ පාරට දැම්මේ, ලිවේරා අන්කල්ගේ වාහනේට පිටිපස්සෙන්.
අක්කලා දෙන්නම උන්නු නිසා අපූර්වට මට මුකුත් කියන්න වුණේ නැහැ. අපි අපූර්වගේ ඉස්කෝලේ ලඟ බහිද්දි එතනට සෙනග ගොඩක් ඇවිත් හිටියා. අපූර්වගේ යාළුවෝ අඩියෙන් අඩියට හිටපු නිසා තැන් කීපෙකම නවතින්න අපට සිද්ධ වුණා. අන්තිමට කොහොමහරි අපි පුංචම්මලාවත් හොයාගෙන ශාලාව ඇතුලට ගියා. එක පෙලට සීට් හතක් තියෙන තැනක් හොයා ගන්න බැරි වුණ නිසා අපට වාඩි වෙන්න වුණේ වෙන වෙනම. වයසක තුන් දෙනා එකට, අපර්ණායි, හර්ෂි අක්කයි එකට. ඒ දෙන්නා උන්නු තැන මටත් ඉඩ තිබුණත් අපූර්ව නිසා මට සිද්ධ වුණා වෙන තැනකට යන්න.
"මම ආවට මට මොකක්ද වගේ අපූර්ව. අපර්ණා අක්කා මොනවත් හිතයිද දන්නේ නෑ" මම කිව්වේ අපූර්ව ලඟින් ඉඳගන්න ගමන්.
"ඒක එවෙලෙට බලමුකෝ හනී. දැන් අපි නාට්‍යය බලමු" අපූර්ව කිව්වේ පුටුවේ හරි බරි ගැහෙන ගමන්.
"හනී?" මම ඇහුවේ ඔහුගෙන් ටිකක් ඈත් වෙලා.
"ඔව්. ඔයා මගේ හනී බනී නේ"
"ඒ කිව්වේ මම පැණි හාවාද?"
"ඔව්. හනී බනී"
මම හිනා වුණා. අපූර්වට පිස්සු!
ටිකකින් නාට්‍යය පටන් ගත්තා. ඒක නිර්මාණය වෙලා තිබුණේ ඉන්දියාවේ හබීබ් තන්වීර් කියන නාට්‍යකරුවගේ නාට්‍යයක් ඇසුරින්,චරන්දාස් කියලා හොරෙක් ගැන. පටන් ගැන්මේ ඉඳලම ඒ නාට්‍යය හරිම විනොදජනකයි. හැම වෙලේම හිනා යන්න මොකක් හරි තිබුණා. ඒ සේරම අස්සේ අපූර්ව හෙමිහිට අත අරන් මගේ ඇඟිලි  වලින් අල්ලගත්තා. මට නාට්‍යය අමතක වෙලා බැලුනේ ඔහු දිහා.
"ඇයි?" ඔහු ඇහුවේ මා දිහා නොබලාම.
මම අත ඇදගන්න උත්සාහ කලා. ඒත් ඔහු හයියෙන්ම අල්ලගෙනම හිටියා.
"අත අතාරින්නකෝ" මම ඔහුගේ කනට කරලා කිව්වා.
"අල්ලගත්තේ අතාරින්න නෙවෙයි"
"අනේ..."
මම බැගෑපත් වුණාම අපූර්ව කෙලින්ම මගේ ඇස් දෙක දිහා බැලුවා. මද අඳුරේ මට ඔහුගේ ඇස් පෙනුනේ යාන්තමට. ඒත් ඒ බැල්ම හැමදාම වගේ මගේ හිත සසැලුවා.
"එහෙනම් අතාරින්නද?"
මම ඒ ඇස් දිහා බලාගෙන උන්නා ටික වෙලාවක්.
"එපා"
අපූර්ව හිනාවුණා.
"ඔයා අද ලස්සනයි. හරියට ඒන්ජල් කෙනෙක් වගේ" ඊට පස්සේ ඔහු කිව්වේ මගේ අත දෝතින්ම අල්ලගෙන.
"ඇත්තටමද?"
"ඇත්තටම"
මට ඇත්තටම ඕන වුණා අපූර්ව වෙනුවෙන් ලස්සනට සැරසිලා එන්න.
ඊට පස්සේ අපි කතා නොකරපු තරම්. නාට්‍යය හරිම විනොද ජනක එකක් නිසා වැඩිපුරම මම කලේ හිනාවෙන එක. හිනා වෙලා හිනා වෙලා ඇස් වලින් කඳුලුත් ආවා. ඒ නාට්‍යය නම් ගොඩක් හොඳ නිර්මාණයක් කියලා මට හිතුණා. ඒ අතරේ අපූර්වගේ අතේ උණ්Uසුම මගේ අතට දැනෙද්දි හිතට දැනුනේ කියාගන්න බැරි සොඳුරු හැඟීමක්.
"ඔයා ගෙදරට කතා කලාද?" අපූර්ව ඇහුවේ නාට්‍යය බලන අතරතුරේමයි.
"ඔව්. ඒත් අම්මා මට මොනවත් කියන්නේ නෑ. අපර්ණා අක්කා නිසා අයියා ආපු වග මට කියන්නත් බෑ"
"එහෙමද? ඔයා ඒ ගැන දුකින් ඉන්න වග මම දන්නවා. මට මොනාද ඔයා වෙනුවෙන් කරන්න පුලුවන්?"
අපූර්ව එහෙම ඇහුවාම ඔහු ගැන තිබුණ සෙනෙහස මට දෙගුණ වෙලා දැනුනා.
"ඒ ගැන කාටවත් මුකුත් කරන්න බෑ අපූර්ව. ඒත් ඔයා මගේ ලඟින් ඉද්දි මට මේ දේවල් දරා ගන්න ලේසියි. ඔයත් නොහිටියා නම් මට පිස්සු හැදෙයි. මාව සතුටින් තියන්නේ ඔයා අපූර්ව"
මම කිව්වාම අපූර්ව මගේ අත මිරික ගත්තා.
"හදිසියේවත් ඔයාගේ අප්පච්චි මට අකමැතිම වුනොත්, ඔයා මොකද කරන්නේ?"
අපූර්ව ඇහුවේ මට කවදාවත් උත්තරයක් හිතන්න බැරි ප්‍රශ්ණයක්.
"ම්" අපූර්ව ආයෙම අහනවා.
"මම දන්නේ නෑ ඇත්තටම. ඒ වෙලාවට හිතෙන දෙයක් කරයි. මට අප්පච්චිට අකීකරු වෙන්න බෑ. මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නත් බෑ"
මම කිව්වා.
"මං දන්නවා ඒක. මටත් එහෙමයි. ඔයා නැති අනාගතයක් ගැන මට හිතන්න බෑ. ඒ තරම් ඔයා මගේ අතීතේ, වර්තමානේ ඉඳලා තියෙනවා. අප්පච්චි අකමැති වුනොත් මාව දාලා යන්නේ නෑ නේද?"
මම අපූර්ව දිහා බැලුවේ වේදනාවෙන්. මගේ උගුර රිදුම් දුන්නා.
"සමහරවිට මට ඔයා ලඟම ඉන්න බැරි වෙයි, ඒත් මම මැරෙනකල්ම ආදරේ කරන්නේ ඔයාට විතරමයි අපූර්ව. ඇත්තමයි"
අපූර්ව යන්තමට හිනා වුණා.
"ඔයා මට ආදරෙයි කිව්වා"
මම කල්පනා කලා මම කිව්ව දේ ගැන.
"ඔව්මයි"
මමත් හිනා වුණා. අපි දෙන්නා සතුටින් ලඟට වෙලා ඉඳපු ඒ මොහොත සදාකල්ම තියෙනවා නම් කියලා මට හිතුණා. මම නාට්‍යයේ ඉතිරි ටික බලන්න අපූර්වගේ උරහිසින් හිස තියා ගත්තා.
"ඒක නම් මරු නාට්ටිය..."එහෙම කිව්වේ ලිවෙරා අන්කල්.
පුංචම්මයි, සුධර්මා ඇන්ටියි උන්නේත් හිනා වෙලා මූණ රතු කරගෙන. අක්කලා දෙන්නම තාමත් හිනා වෙනවා. හැබැයි අපි දෙන්නට නම් තැන් කීපයක්ම මගෑරිලා. ඒත් නාට්‍ය නම් හැබෑවටම හරි ලස්සනයි, නිර්මාණාත්මකයි.
"අර රජතුමා 'වට්ටක' කියලා ඇදලා පැදලා ඔලොක්කුවට වගේ ඇමතියා දිහා බලලා කියපු විදිය නම් හරි ෂෝක්" අක්කා හිනා වෙනවා.
"ඇයි රාජ පුරුෂයෝ හැම එකටම 'එසේය' කියලා ඇදලා කියන හැටි?" අපර්ණා අක්කත් කියනවා.
"අපූර්වට තමා තෑන්ක් කරන්න ඕන අපිව එක්ක ආවට" පුංචම්මා කිව්වා.
"දැන් උයන්නත් බෑනෙ. කොහෙන් හරි ඩිනර් අරන් යමු නේද?" අන්කල් කිව්වේ වෙලාව බලන ගමන්.
"මම නම් උයලයි ආවේ" පුංචම්මා කිව්වා.
"ආ...ඒවා හෙට උදේට කන්න බැරියැ. ඩිනර් ටවුමෙන් අරන් යමු" සුධර්මා ඇන්ටිත් කිව්වා.
අපි රෑ කෑමත් කාලා ආපහු ගෙදරට යද්දි රෑ නවයත් පහු වෙලා. අපූර්ව හිතලම හෙමින්, ලිවේරා අන්කල්ගේ වාහනේ පස්සෙන් ගියේ. ඒ නිසා වැඩිදුර යන්න කලින් ඒ අය ගිහිල්ලත් ඉවරයි. අපර්ණා අක්කයි, හර්ෂි අක්කයි බාගෙට නිදි.
අපූර්ව අපේ ගෙවල් තිබුණ අතුරු පාරට වාහනේ දාලා මගේ දිහා බැලුවා.
"අද ෂෝක් දවසක්. ඔයා මගේ ලඟින්ම හිටිය නිසා" අපූර්ව කිව්වා.
"හ්ම්. ඇත්ත"
"දැන් දාලා යන්නත් බෑ වගේ"
මම මුකුත් නොකියා  හිනා වුණා.
"මා එක්ක යන්න එන්න" ඔහු කිව්වා එක පාරටම.
"කොහෙද?" මම ඇහුවා.
"අපේ ගෙදර"
"ඊට පස්සේ?"
"මගේ ලඟට වෙලා ඉන්න අද හවස වගේ"
මගේ හිත ආදරේ නිසාම රිදුම් දෙමිනුයි තිබුණේ. අපූර්ව ආයෙමත් මගේ අතක් ගත්තා දෝතින්ම.
"ඒක කරන්න බෑනෙ" මම කිව්වා.
"කවදාහරි පුළුවන් වේවි"
ඔහු කිව්වේ මගේ අත තදින්ම අලාගෙන.
"ඔව්" මම කිව්වේ මටවත් නාහෙන ගානට . ඒ තරම් මගේ උගුර හිර වෙලයි තිබුණේ මොකක්දෝ නුහුරු හැඟිමකින්. අපූර්ව එක පාරටම මගේ අත ඉම්බේ වෙන මුකුත් නොකියා. මම හොඳටම ගැස්සුනා. මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා. ඒත් මම අත ඇදලා ගත්තේ නැහැ.අපූර්ව එහෙමම ඉඳගෙන මගේ දිහාව බැලුවා. ඒ ඇස් අතරේ මම අතරමං වෙලා වගේ මට දැනුනා. මම ලොකු හුස්මක් ගත්තා.
"ගෙදරත් ආවද?" නිදිමතෙන් වගේ හර්ෂි අක්කා අහද්දි, අත ගත්තේ කොහොමද කියලාවත්, අපූර්ව අත අතෑරියේ කොහොමද කියලාවත් මට මතක නෑ. අපි දෙන්නා හොරු දෙන්නෙක් වගේ අහක බලාගෙන උන්නා. අපූර්ව ඉක්මණ් කරලා ගෙවල් ලඟට අපිව අරන් ගියා.
හැමෝටම සුභ රාත්‍රියක් පතලා අපි සමු ගද්දි එක නිමේෂයක් ආයෙම ලැබුණා අපේ ඇස් වල්ට කතා කරන්න.
"ලව් යූ"
අපූර්ව ඇස් දෙකම පියලා මට ඉඟි කරලා තොල් වලින් විතරක් කිව්වා.
මම හිනා වුණා විතරයි.ඒදා රෑ මට හිතන්න ගොඩක් දේවල් තිබුණා. රෑ නින්ද ගියෙත් නැති තරම්. ඒත් නින්ද ගිය වෙලෙත්, අවදියෙන් හිටි වෙලෙත් හිත පුරාම, හීන පුරාම උන්නේ අපූර්ව විතරමයි.

2 comments:

  1. ඇත්තටම කතාව හරිම ලස්සනයි. නිර්මානශිලියි. එක දිගටම කියවන්න තියනවනම් හොදයි කියලා හිතෙනවා.


    ---------------------------------------------------
    ඔයා මේ blog එකේ හරියට time set කරලා නැහැ නේද?. එක පුලුවන්නම් හරියට හදන්න.

    ReplyDelete
  2. කතාව නන් හරිම ලස්සනයි

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....