Thursday, October 27, 2011

තිස් නව වෙනි දිගහැරුම

"අක්කා..."
හවස මම හර්ෂි අක්කට කතා කලා විස්තරේ කියන්න. සිද්ධ වුණ දෙවල් අහලා හර්ෂි අක්කා සම්පූර්ණ විනාඩි දෙක තුනක්ම කතා නොකර හිටියා.
"අනේ මං දන්නේ නෑ කෙල්ලේ මොනවා කියන්නද කියලා. ඒත් අපූර්ව කියනවා නම් ලොකු අප්පච්චිව කැමති කර ගන්න එයාට පුළුවන් කියලා, මම මුකුත් කියන්නේ නෑ"
අක්කා කිව්වේ අවිනිශ්චිතව.
"ඔයා මාව බය කරනවා අක්කා"
"එහෙම නෑ. ඔයා ඉන්නේ සතුටින් නේද කියන්න?"
"ඔව්"
"එහෙනම් එච්චරයි.මං ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නට ලොකු අප්පච්චිගේ කැමත්ත ලැබෙන්න කියලා"
අක්කා කිව්වා.
"කෝ අපේ අපර්ණා අක්කා?"
"ඕන් දැන් හිටියා. සමහරවිට ඇඳේ වෙන්න ඇති. එයාට හරියට වමනේ යන්වා. පව්. ඔක්කොටමත් වඩා එයා වුණ දේවල් ගැන තාමත් හිත හිත දුක් වෙනවා. කිව්වට අහන්නේ නෑ"
"මට එයා ගැන දුකයි අක්කා. එතකොට අපේ අයියා මොකද කරන්නේ? එයාගේ ෆෝන් එකත් වැඩ නෑ"
"මනුස්සයා මේ දවස් වල බැහැලා වැඩ. හිත රිද්දගන්න බැරි නිසා ඔයාටවත්, ගෙදරටවත් කතා කරන්නේ නෑ කියනවලු. අනේ මංදා ඒවා නම්. ඒත් දැන් නම් ටිකක් හොඳයි කාලේ එයාට"
මගේ හිතට සැනසීමක් දැනුනා. අපට කතා නොකලත් කමක් නෑ, එයා කොහේ හරි හොඳින් ඉන්නවා නම්.
"මං එහෙනම් තියන්නම් අක්කා. අම්මා තේ හදනවා ඇති. ආයෙත් ගන්නම්"
"හරි. මං අපූවත් අල්ලගන්නම් කෝ"
අක්කා කිව්වාම මම හිනා වුණා.
"බුදු සරණයි ඉන්දි"
හිතේ තිබ්බ ලොකු බරක් අයින් වුණ නිසාදෝ මම ගෙදර උන්නේ සැහැල්ලුවෙන්. ඒක අම්මටයි, අප්පච්චිටයිත් තේරිලා.
"පැංචි ආයෙමත් පරණ විදියට සන්තෝසෙන් ඉන්න එක ගැන අප්පච්චිට සතුටුයි"
අම්මා කිව්වේ මගේ හිස පීරන ගමන්. අපි සාලේ පඩිපෙල උඩ වාඩිවෙලා හැන්දෑව දිහා බලාගෙනයි හිටියේ. බට්ටි මිදුලේ බලු පැටියා එක්ක සෙල්ලම් කරනවා.
"අප්පච්චි සන්තෝසෙන් නම් ඒක මට ඇති" මම කිව්වා.
බට්ටි ගේට්ට්වෙන් එලියට දුවලා ගිහින් බල්ලා එක්කම. මම ඈ දුවපු දිහා බලාගෙන හිටියා.
"ඔයාට කියන්න වැදගත් කාරණාවකුත් තියෙනවා" අම්මා හිටපු ගමන් එහෙම කිව්වා.
ඒ වචන වල ලඟ ලඟම එන්න හදන තවත් ලොකු කුණාටුවක පෙරනිමිති ගැබ් වෙලා තිබ්බදෝ කියලා මට හිතුණා. අම්මා ආයෙමත් මුකුත් කියන්න කලින් බට්ටි ගේට්ට්ව දිහා ඉඳන් පිම්මේ දුවගෙන ආවා කෑ ගහගෙනම.
"අම්මේ...නැන්දා එනෝ"
අම්මයි, මමයි පඩිපෙලින් නැගිටලා නැන්දා එන පෙර මග බලාගෙන හිටියා. නැන්දා හිටියේ අන්ඩර්බෑන්ක් පැත්තේ, නුවර එලිය නගරෙට ආසන්නවමයි. ඒ නිසා සතියට දවසක් නම් අනිවාර්යෙන්ම අපේ දිහා එන්න නැන්දා අමතක කලේ නෑ.
"අද බස් එකේ ආවේ. වාහනේ සර්විස් කරන්න දාලා" නැන්දා ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන, මටත් හිනාවීගෙනමයි.
"ආ...ඇත්තද? ජයේට කතා කලා නම් ඉවරනේ. එයත් අද ටවුන් එකේ ඇත්තේ මේ වෙලාවේ"
අම්මා කිව්වේ නැන්දත් එක්කම ගෙට එන ගමන්.
"මේ ටික එන එක මොකක්ද? කෝ අම්මා?"
නැන්දා වාඩි වෙන ගමන් ඇහුවා.
"කුස්සියේ වෙන්න ඕන. අම්මා...මෙන්න හේමලතා ඇවිත්"
අම්මා කුස්සිය පැත්තට හැරිලා ආච්චි මම්මට කතා කලා.
"මේ දවස් වල ගෙදරද? දැන් කෝස් එක ඉවරද පුතේ?" නැන්දා මගෙන් ඇහුවා.
"ඔව් නැන්දා. තව දවස් දෙකක් විතර යන්න ඕන. සතියකින් විභාගේ තිබ්බාම ඉවරයි"
"ඒකත් හොඳයි. ඊට පස්සේ බැරියැ ඇවිත් මේවා බලා කියා ගන්න අයියට උදව් කරන්න. පැංචිට දැන් වයස විස්සක්ද නංඟියේ?"
නැන්දා ඇහුවේ අම්මගෙන්.
"විසි එකයි" මම කිව්වා.
"දැන් එන්නේ හොඳ වයස" නැන්දා ඒ පාර මොකාට එන්න හදනවද දන්නේ නෑ. අම්මා මුකුත්ම නොකියා හිනා වුණා.
"ඉගෙන ගෙනත් ඉවර එකේ නරකද හොඳ තැනකින් කටයුත්තක් වත් බැලුවා නං?"
"ආ..." මම නැන්දා දිහා බැලුවේ නොරිස්සුමින්." මං තාම පොඩියි හරිද?"
නැන්දා කටත් අමුතුවට හදා ගෙන මගේ දිහා උඩ ඉඳන් පහලට බැලුවා.
"හොඳ පොඩි. මම බඳින කොට මට වයස දහ නවයයි. අම්මත් එහෙමයි. අහලා බලන්න"
මේ අතරේ ආච්චි මම්මත් අපි අතරට ආවා.
"විස්ස වෙද්දි සුදීප පුතත් හම්බවෙලා. නෙලුම් මොකෝ මම බඳිද්දි මට දාහතයි"  ඒ පාර ආච්චි මම්මත් පටන් අරගෙන.
"ඉතිං ඒක පරම්පරා චාරිත්‍රයක්ද? ඉක්මණට බඳින්න කියලා නීතියක් නෑනෙ" මම හිටියේ ඇත්තටම නොරිස්සුමින්.
"එහෙම නෙවෙයි ළමයෝ, ඉක්මණට බැන්දම ඉක්මණට දරු මුනුපුරෝ බලන්න පුලුවන්. ඒක කොච්චර දෙයක්ද?"
"අනේ..." මම කට ඇද කලා. "මට නම් දැන්ම ඕවා එපා. මට තව ඉගෙන ගන්න ඕන. අනික බඳින්න ඉතිං මනුස්සයෙකුත් එපැයි"
අම්මා මගේ දිහා බලලා මුකුත් නොකියා ලාවට හිනා වුණා.
"ඒක තමයි. එහෙනම් ඉතින් අර කට්ටියට හෙට අනිද්දටම එන්න කියලා අරිමු නේද?" නැන්දා කට පුරාම හිනා වෙලා එහෙම කිව්වට මොකද මට කිසි දෙයක් හිතා ගන්න බැරි වුණා.
"මොන කට්ටියටද?" මම බැලුවේ අම්මා දිහා.
"ඔන්න අපි නම් ඕවට නෑ. අප්පච්චිගෙන් අහලා බලන එකයි ඇත්තේ" ආච්චි මම්මත් කිව්වා.
"මොනාද අම්මේ මේ ආච්චි මම්මා කියන විකාර?"
හැමෝම හොරු වගේ හිනාව තද කරගෙන ඉඟි, බිඟි කරද්දි මට ආවේ සියුම් තරහක්.
"අප්පච්චිගේ යාලුවෙකුයි, එයාගේ නෑදෑයෝ කට්ටියකුයි එනවා ලබන සතියේ මෙහේ ලන්ච් වලට ඒක ගැන ඔය කියන්නේ"
අම්මා මට මොනවාහරි හංගනවද?
"ඉතිං ඒකට මට අනං, මනං කියන්නේ මොකටද?"
"අප්පච්චි ඔයා එක්ක මේ ගැන කතා කරයි" අම්මා එහෙම කියලා කතාව ඉවර කලා. මගේ හිත සෑහෙන්න නොසන්සුන් වුණා. මං වත් නොදැන සේරම් අය මගේ ජීවිතේ ගැන තීරණයක් අරන් වත් ද?
මේ ගෙවෙන්නේ සති අන්තේ නිසා අපූර්වට කෝල් එකක් දෙන එක ලේසි වැඩක් නෙවෙයි. කොයි වෙලෙත් කවුරුහරි ලඟ පාතක හිටියා, එහෙම නැති වෙලාවට එක්කෝ අප්පච්චිට පේන්න ඉන්න ඕන. ඔක්කෝටම හරියන්න එක්ක බට්ටිත් තනියෙම නිදන්න බෑ කියලා මා එක්ක නිදා ගන්න පුරුදු වෙලා හිටියා. යන්තම් කල්, යල් බලලා මම අපූර්වට කෝල් කරන්න හිතාගෙන රෑ වෙනකල්ම ඇහරලා හිටියා.
"හෙලෝ අපූර්ව..." මම කතා කලේ රහසින්. බට්ටිට නින්ද ගිහින්ද දන්නේ නෑනෙ.
"තෑන්ක් ගෝඩ්. ඇති යාන්තම් කතා කරන්න මතක් වුණා. මෙච්චර කල් කතා නොකලේ ඇයි?"
මම කතා නොකරන්න හේතු ඔහුට පැහැදිලි කලා.
"අදවත් ගත්තු එක ලොකු දෙයක්. මම දහ අතේ කල්පනා කර කර හිටියේ කොහොමද ඔයාව කන්ටැක් කර ගන්නේ කියලා. බැරිම වුණොත් හෙට හර්ෂි අක්කට කියනවා කියලයි හිතුවේ"
"මොකක්ද?"
"මට සති දෙකකට ඉන්ඩියා යන්න වෙලා තියෙනවා. ස්විමිං ලයිෆ් සේවර් ට්‍රේනිං එකකට. අපේ කොලේජ් එකෙන් මං විතරයි ඉන්නේ. යන්නම ඕන ඒ නිසා"
මගේ හිත සැලෙන්න වුණා. මේ ප්‍රශ්ණ අස්සේ අපූර්වත් මගේ ලඟ නැති කොට මම මොකද කරන්නේ? ඒත් අපූර්ව යන්න යන ගමනට මේ දේවල් කියලා බාධා කරන්න මට ඕන වුණේ නෑ.
"ඇත්තද? කොච්චර ෂෝක්ද! කවදද ඉතිං යන්න තියෙන්නේ?"
මම වෙනසක් නැතිව ඇහුවා.
"හෙට" අපූර්ව කිව්වා.
"හෙට?" මට කියවුණා.
"ඔව්. ඒක තමයි මම ඔයා කතා කරනකල් නොඉවසිල්ලෙන් හිටියේ. හෙට කතා කලා නම් මම ලංකාවේ නෑ. ෆ්ලයිට් එක තියෙන්නේ උදේ එකොලහට. මම මෙහෙන් උදේම යනවා. මමයි, ඩැඩායි එනවා ඇරලන්න"
මම සුසුමක් හෙලුවා.
"පරිස්සමෙන් ගිහිං එන්න එහෙනම්"
අපූර්ව හුස්ම ගන්න හඬ මට ඇහුණා.
"මම යනවට දුකයිද?"
"නෑ. ඔයා ඉතිං හොඳ ගමනක් නේ යන්න හදන්නේ"
"මං එනකල් පරිස්සමින් ඉන්න. ගිහින් මම එහේ නම්බර් එකක් එවන්නම් මට මැසේජ් කරන්න. මං කතා කරන්නේ නෑ. ඔයාට පුලුවන් වෙලාවට මට රිංග් කරන්නකෝ. එතකොට මම කතා කරන්නම්"
"හොඳයි"
"ඔයාවත් බලලා යන්න තිබ්බ නම් හොඳයි. ඔයාව අන්තිමට දැකලා හරියට කල්පයක් ගත වෙලා වගේ මට දැනෙන්නේ"
මම හිනා වුණා.
"මං එනකල් පරිස්සමින් ඉන්න හොඳද?"
"හ්ම්"
"බට්ටි නිදිද?" ඒ පාර අපූර්ව අහනවා.
"අපෝ ඔව්. දහය විතර වෙනකල්ම ඇහැරිලා කියව කියව හිටියා. දැන් යන්තම් නිදි"
"මම එද්දි ඔයාට මොනාද ගේන්න ඕන?" අපූර්ව ඇහුවේ ආදරෙන්.
"ම්ම්" මම කල්පනා කලා.
"මොනාද?"
"මට මුකුත් එපා අපූර්ව. ඔයා පරිස්සමින් ගිහින් ආවොත් ඒ ඇති" මම කිව්වා.
අපූර්ව නිහඬව හිටියා මොහොතක්.
"එහෙනම් මාල, වලලු, රන් පවල්ම් නැතුව හදේ සුවඳ ආදරේ විතරක් අරන්, ඉන්ඩියා ගිහිං ආපු ගමන් ඔයා බලන්න එන්නම්" අපූර්ව කිව්වා දයාබර හඬින්.
"හරි. අනේ ගොඩක් පරිස්සම් වෙන්න අපූර්ව"
"හොඳමයි හාමිනේ"
"අයි විල් මිස් යූ" මම කිව්වා.
"මී ටූ බේබි, අයි ලව් යූ සෝ මච්"
"ලව් යූ ටූ"
"හෙට උදේට පුළුවන් වුනොත් කතා කරන්න, එකොලහට කලින්. දැන් නිදා ගන්න එහෙනම්. නිදි මරන්න එපා. ගුඩ් නයිට් ස්වීට් හාට්"
"ගුඩ් නයිට් අපූර්ව"
කියන්න හිතාගෙන උන්නු සේරම හිතේම ගුලි කරගෙන මම ඇමතුම විසන්ධි කරලා ඇඳට වැටුනේ හිතේ ආයෙමත් බරක් පටවගෙන. දැනුත් අපි දෙන්න ඉන්නේ දුර වුණත්, එකම රටේ නේද කියලා හිත හදා ගන්න පුළුවන්. ඒත් අපූර්ව රටින් පිට ගියාම අපි කොච්චර දුරස් වෙනවද කියලා හිතද්දි හිත දුකකින් පිරුණා. අනික් අතට අපූර්ව රටෙත් නැති වෙලාවේ අම්මලා මොනවා කරයිද, මොනවා මට කරන්න කියයිද කියලා මම කල්පනා කලේ බයෙන්.මොනා නමුත් ලොකු දෙයක් වෙන්න යන වග මට ඉවෙන් වගේ වැටහුණා.
"බොනී...මෙහේ..." බට්ටි හීනෙන් කියවනවා.
මම ඇගේ කොට්ටේ හදලා ඇඳේ අනික් පැත්තට හැරුණා. මේ ප්‍රශ්ණ වල පටන්ගැන්ම විතරයි කියලා මට හිතුණා. තව කොච්චර නම් බැරෑරුම් අවස්ථා වලට මූණ දෙන්න අපට සිද්ධ වේවිද? ඒත් ඒව හරි හෝ වැරදි විසඳුම් ලැබිලා ඉවරයක් වේවි.ඒ හැම දෙයක්ම ඉවර වුණාම, අපි දෙන්නගේ ආදරෙට පුංචිම හරි ඉඩක් මේ  ලෝකේ තියේවි කියලා හිත සනසා ගන්න මම උත්සාහ කලා.

2 comments:

  1. aneeeeeeeeeeeee kathawe kochara lassanate akki galepenwade?? akkite godak thanks meke post ekak kohomohary apite kiyawanne dane eke :) keep writing,,, take care <3

    ReplyDelete
  2. batti hari hurathal appa........

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....