Monday, October 24, 2011

තිස් හය වැනි දිගහැරුම


"අප්පච්චි ඇවිත්"
නංඟි කෑ ගහද්දි මම පහලට දිව්වා. අපේ සංවාදෙන් පස්සේ හර්ෂි අක්කත් උන්නේ පහල තට්ටුවේ.
"අප්පච්චි..." මම දුවලා ගිහින් අප්පච්චිට තුරුල් වුණා. අප්පච්චි එක අතකින් මාව අල්ලගත්තා. මම හිසකෙස් නලලට වැටෙන්න කඩා දාලා හිටියේ අප්පච්චිට නළල වැදුණ එක නොපෙනෙන්න.
අප්පච්චි කලබල වෙන බව මම දැනං උන්න නිසා.
"පැංචිට ක්ලාස් පාඩු වෙනවා නේද?"
අප්පච්චි ඇහුවේ රෑ කෑම කාලා අපි සාලේ වාඩි වෙලා ඉන්න අතරේ.
ඒක්ට කමක් නෑ අප්පච්චි"
"හෙට හර්ෂි යද්දි මෙයත් යන්වනේ. අර කිව්වත් වගේ ක්ලාස් පාඩු වෙන්වනේ. ඔය ක්ලාස් එක ත්ව සති දෙකකින් ඉවරයි නේ නේද?" අම්ම ඇහුවා.
"හ්ම්" මම හිස වැනුවා. මගේ හිත තිබුණේ වෙන තැනක. අපූර්ව ගෙදර ගිහින්ද දන්නේ නෑ.
"අර දරුවා ගෙදර ගිහිංද දන්නේ නෑ" ආච්චඉ මම්මා එක පාරට කිව්වේ මගේ හිත කියෙව්ව වාගේ. මම ගැස්සිලා වග අක්කා දිහා බැලුවා. ඈ බිම  බලා ගත්තා.
"කෝල් එකක් දුන්නේ නැද්ද?" අම්ම ඇහුවේ මගෙන්.
මම අමාරුවෙන් වෙන්සක් නොපෙන්නා හිස වැනුවා. 'නෑ"
"එහෙනම් ඔයාවත් කෝල් එකක් දීලා බලන්න්කෝ"
"කවුද ඔය ළිවෙරගේ පුතා ගනද කියන්නේ? ඒක තමා මාත් බැලුවා කවුද මේ අඩු කියලා. මොකද හදිසියේම ගියේ?" එහෙම ඇහුවේ අප්පච්චි.
"මොකක් හරි හදිසියක් වෙන්න ඇති. මේ දෙන්නට තනියට ආවට එහෙත් වැඩ නැතුවයැ. අපරාදේ කියන්න බෑ ගෙදරම දරුවෙක් වගේ. හරියට උදව් කලා. හොඳ හැදිච්ච, බුද්දිමත් ළමයෙක් වගේ"
 සීයා පප්පා අපූර්ව ගැන වර්ණනා කරනවා. ඇත්ත දෙවල් දන්නවා නං කොහොම කතා කරයිද? ඒත් දැන් ඉතින් මොනවත් වෙන්න විදියක් නෑ. ඇත්ත අපි වෙන් වෙලා කියන එක නේ.
"පැංචි අනේ පුතේ කතා කරලා බලන්න. හරි නෑනෙ. අපේ උදව්වට නේ ආවේ. මගේ ෆෝන් එකෙන් ගන්නකෝ"
අම්මා මට කිව්වාම මට දැනුනේ ලොකු අපහසුතාවයක්. ඒත් මම වෙනසක් නොපෙන්නා, අමාගේ කාමරේට ගිහින් ෆෝන් එක අතට අරන් අපූර්වගේ ගෙදර නොම්මරේ එබුවේ වෙව්ලන් අඟිලි වලින්. එහා පැත්තෙන් නාද වෙන හඬ ඇහෙද්දි හද ගස්ම මට පිටට ඇහෙන තරමට වැඩි වෙලයි තිබුණේ.
"හෙලෝ..." ඒ නම් අපූර්වගේ හඬ නෙවෙයි. අන්කල් වෙන්න ඕන.
"අන්කල්ද? මම මේ අල්ලපු ගේද්‍ර ඉන්දි.." මම කිව්වා.
"ආ...කොහොම්ද දුව? දැන් තත්තට හොඳද?"
"ඔව් අන්කල්. දැන් නම් හොඳයි. අද තමා ගෙදර එක්ක ආවේ"
"ඒක හොඳයි. ඉතින් කෝ මේ අපේ මෑන්? ගෙදර් එන්න අදහසක් නැල්ලුද?"
මගේ හිස ගිනි ගත්තා ඒ කතාව අහලා. ඒ කියන්නේ අපූර්ව තාම ගෙදර ගිහිං නැද්ද? මං ඉක්මණට වෙලාව බැලුවා. 'අටයි පහයි'. අපූර්ව ගිහින් පැය දොලහකටත් වැඩියි. මගේ අපූර්ව කොහේ ගිහින්ද? එයාට මොනවා වෙලාද? මට දැනුනේ බයක්.
"ඒත් අන්කල් අපූර්ව අද උදේ මෙහෙන් ආවා ගෙදර එනවා කියලා" මම කිව්වේ වෙව්ලන හඬින්.
"ආවා? තාම ගෙදර් නම් ආවේ නෑ. කීයට විතරද ආවේ?"
මට අන්කල්ව කලබල කරන්නත් බෑ. බොරු කියන්නත් බෑ.
"දවල් දොලහට එකට විතර. මගදි යාලුවෙක් වත් හම්බවෙලා කොහේ හරි ගියාද දන්නේ නෑ නේද?"
"ඔව්. සමහරවිට. බලමුකෝ. මං කියන්නම් ආවාම කතා කරන්න කියලා"
"හොඳයි අන්කල්. එහෙනම් මම තියන්නම්"
මම කතාව ඉවර කලේ අසිහියෙන් වගේ. අපූර්ව කොහේ ගිහින්ද දන්නේ නෑ. මං සාලෙට ගියේ හිත හිතාම.
"ගිහින්ද?" අම්මා අහනවා.
"තාම ගෙදර ආවේ නෑ කිව්වා"
"ඈ...මෙහෙන් ගියේ උදේ නේ?"
"යාලුවෙක් වත් හම්බවෙලා කොහේ හරි යන්න ඇති. රෑට ගෙදර යයි නේ කීයට හරි. දවස් දෙකක් හිටියෙත් නැති නිසා යාලුවෝ බලන්න යන්න ඇති"
මම එහෙම කිව්වට ඒ වචන වලින් මගේ හිත සනසාගන්න මට බැරි වුණා.
එදා රෑත් නින්ද මට දැක්වූවේ කුඩම්මාගේ සැලකිලි. ඔරලෝසුවේ එක වදිද්දිත් මම ඇහැරලා.හිතේ තනියට උන්නේ අතීතේ මතක ගොන්නකුයි, කඳුළු ගොඩකුයි විතරයි. හෙට දවස ගැන මට තිබුණේ බයක්. අපූර්ව නැති මේ දවස් මම ගෙවා ගන්නේ කොහොමද? හෙට නුවර ගිහින් මම ඉන්නේ මොන හිතකින්ද? අපේ මතක නුවර පුරාම අඟලෙන්, අඟල, හැම තැනකම තිබුණා. ඒ තැන් දකිද්දි, ඒ මතක මතක් වෙද්දි මට හිත හදා ගනෙන එහේ ඉන්න පුළුවන් වෙයිද?
මේ දේවල් හිතමින් ඉන්න අතරේ මට ඇහුණා මගේ ෆෝන් එක නාද වෙනවා. එස්. ස්ම්. එස්. එකක්? මම පැනපු ගමන් ෆෝන් එකත් අරන් දිව්වේ මගේ කාමරේ බැල්කනි එකට.
'පරිස්සමෙන් ආවා. මා ගැන හිතන්න එපා. ඔයා සතුටින් ඉන්න බලන්න..." අපූර්ව එවලා තිබ්බ පණිවිඩේ තිබ්බේ එහෙම.
මම දෙපාරක් නොහිතා අපූර්වගේ නොම්මරේ ඔබලා කනේ තියා ගත්තා. ෆෝන් එක නාද වෙනවා ඇහුනාම ආයෙමත් ඇස් වලට කඳුළු ආවේ දුකටද, සතුටටද මම දන්නේ නැහැ. ඒත් අපූර්ව කතා කලේ නැහැ. මගේ හිත රිදුනත් මම ආයෙම ගත්තා. ගොඩ වෙලාවක් ගියත් ඒ පාර අපූර්ව ඒ පැත්තෙන් ඉස්ස්සුවා.
"අපූර්ව...ඔයාට මාව ඇහෙනවද? අපූර්ව...අපූර්ව..."
මම කතා කලේ කලබලෙන්. ඒත් ඔහු නිහඬයි.
"අනේ කතා කරන්න ප්ලීස්" මම කතා කලේ කඳුළු බිංදු කම්මුල හරහා ගලද්දි. තාමත් ඔහු නිහඬයි.
"අපූර්ව...ඇයි මට කතා නොකරන්නේ?"
මට ඇහුණේ ඔහුගේ බර හුස්මක හඬ විතරයි. ඊට පස්සේ එක පාරටම ඇමතුම විසන්ධි වුණා. මම ආයේ ආයෑඅ ගන්න උත්සාහ කලත්, ඉන් පස්සේ ඒක වැඩ කලේම නෑ.
මම සීතල බැල්කනියේ බිම ඉඳගෙන හොඳටම ඇඬුවා. අපූර්ව මට රිද්දන්නේ කොහොමද මේ තරම්? මම එහෙමම හුඟ වෙලාවක් ඉන්න ඇති. සීතල උහුලන්නම බැරි වුන තැන මම ආයෙමත් ඇඳට ගියා. හිත පෑරිලා තිබුණ තරම කොතෙක්ද කිව්වොත් මට දැනුනේ පිහියකින් හිත තුවාල කරලා වගේ. ආදරේ කොච්චර වේදනාවක්ද? මං මේ කරන්න හදන්නේ පලක් නැති දෙයක්කියලා මට හිතුණා. අත් ඇරුණ ආදරයක් පස්සේ ආයෙම දුවන්නේ ඇයි මම? හොඳම දේ අපූර්වට හිත හදා ගන්න ඉඩ දෙන එක කියලා මට හිතුණා. 'මම නුවර යන්නේ නෑ' අන්තිමට මම තීරණය කලා.

"ලෑස්ති වෙන්නේ නැද්ද ඉන්දි?"
අක්කා ඇඳුම් ඇඳගන්නකොටත් මම උන්නේ ගෙදර හිටපු විදියටම ඇඳේ ඉඳගෙන.
"කොහේ යන්නද?"
මම ඇහුවේ උදාසීන විදියට. අක්කා කර කර උන්න වැඩේ නවත්තලා මා දිහා බැලුවා.
"ඇයි අද නුවර යන්නේ නැද්ද?"
"නෑ. මට එහේ යන්න ඕන නෑ. මං එහේ ගියොත් තව හිඟක් දෙවල් මට නැති වෙයි. සමහරවිට මෙහෙත්. මට හිත හදා ගන්න ඕන අක්කා. මම යන්නේ නෑ"
අක්කා ඒ පාර ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුණා.
"එතකොට ක්ලාස්?"
"මට නැතිවෙන්න තිබ්බ ලොකුම දේ නැති වුණා. ඔය ක්ලාස් එක මොකක්ද? මට මේ හැම දේම එපා වෙලා ඉන්නේ. මම අප්පච්චි කියන විදියකට ඉන්නවා"
"වෙච්ච දේවල් වලට ඇයි ඔයා ඔයාගෙන්ම පලි ගන්න හදන්නේ?"
මං අක්කා දිහා බැලුවා.
"නෑ. එහෙම දෙයක් නෙවෙයි. මං හදන්නේ මම නිසා කරදර ඇති වෙන එක වලක්වගන්න"
"ඒ කියන්නේ ඔයා එන්නේ නෑමයි?"
"ඔව්. ඒක මම තීරනය කරලා ඉවරයි" මම හිස වැනුවා.
"මොකද මේ නුවර යන්න බෑ කියනවා කියන්නේ?"
අම්මා උන්නේ ක්ලාස් කරන්න යන්න ලෑස්ති වෙලා. මං සාලේ උන්නු අප්පච්චි දිහා බැලුවා.
"මට බෑ. මට එහේ යන්න හිතක් නෑ. මට ගෙදර ඉන්න ඕන. මම ගෙදර නොහිටපු නිසා තමයි ගොඩක් ප්‍රශ්ණ ඇති වුණේ. මං හිටියා නං..." මට කියවෙන්න ගියේ අයියා ගැන. ඒත් මං ඉක්මණට කතාව වෙන පැත්තකට හැරෙව්වා....හොඳයි. දැන් අයියත් ගෙදර නැති එකේ. මට යන්න බෑ අප්පච්චි. මට බල කරන්න එපා.මට බෑ"
"ඒත් මේ හිටපු ගමන් ගහෙන් ගෙඩි එන්නා වගේ බෑ හිතුණේ මොකද?" අම්මා ඇහුවේ සැරෙන් වගේ.
"දැන් කෝස් එකත් ඔන්න මෙන්න ඉවරයි නේ අම්මා"
"එහෙම නෙවෙයි පැංචි. ඉවර වෙලා විභාගෙකුත් තියෙනවා නේද? ඒකට ඉන්නත් ඕන නේ ඔයා. කරපු දේ අපරාදේ මේ ගෙදර ප්‍රශ්ණ නිසා අවුල් කර ගන්න එපා. හොඳ කෙල්ල වගේ ගිහින් ඒක ඉවර කරලා එන්න.ආයේ යන්න ඕන නැත්තම් ඊලඟ එක නොකර ඉන්නකෝ" අප්පච්චි කිව්වේ ආදරෙන්.
"ඒත් අප්පච්චි?"
"කියන දේ අහන්න පුතේ එක පාරක් කිව්වාම" අප්පච්චි ටිකක් තදින් කිව්වා.
මම කියන්න දෙයක් නැතිව බලාගෙන උන්නා.
"හරි අද යන්න බැරි නම් හෙට යන්නකෝ. මම හෙට උදේම ඔයාව ගිහින් දාන කියලා සුමනේට කියන්නම්" අප්පච්චි ආයෙම කිව්වා. මම මුකුත්ම නොකියා හිටියා. අක්කා උන්නේ මගේ දිහා බලාගෙන බව මට ඇස් කොනකින් පෙනුනා.
"එහෙමත් බැරි නම්, ඔයාට ගෙදර ඉන්නත් ඕන නම්, මම සුමනේට කියන්නද ඔයාව ක්ලාස් තියෙන දවස් වලට උදේ ගිහින් දාලා, හවස එක්ක එන්න කියලා, කොහොමටත් ක්ලාස් තියෙන්නේ තව දවස් කීපයයි නම්?"
අප්පච්චි ආයෙම කතා කරලා ඇහුවා.
"ඔයාට පිස්සුද? දීපා හිතයි එහේ ඉන්න අකමැතිවට කියලා. අනික මේ තියෙන මුදල් ප්‍රශ්ණ මදිවට?" අම්ම ඒකට හරස් කැපුවා මම මුකුත් කියන්නත් කලින්.
"නෙලුම්..." අප්පච්චි අම්ම දිහා බැලුවේ තදින්."ඔයා කියන්න පුතේ..." ඔහු ඊට පස්සේ මට කිව්වා.
"ඕන නෑ අප්පච්චි. මම නුවර යන්නම් හෙට උදේට" මම බිම බලාගෙන කිව්වා.
"දීපාට හර්ෂි කියන්නකෝ විස්තරේ. ඔයාව උදේ හවස ගෙනිහින් දාන්න කියලා මම සුමනේට කියන්නම්"
මගේ දිහා බලාගෙන උන්නු අප්පච්චි අන්තිමට මට කිව්වා.
මට තියෙන්නේ යන එන ප්‍රශ්ණයක් නොවෙන බව මම අප්පච්චිට කියන්නේ කොහොමද? න්නුවර අපි දෙන්න ආගිය තැන් දකිද්දි මට හිත හදාගන්න බැරි බව, නුවර මගේ හිත රිද්දන බව, මම කියන්නේ කාටද? ඒත් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ අප්පච්චි කියපු දේ පිළිගන්නවා ඇරෙන්න.
"තාත්තලා දුවලා ඕන එකක් කර ගන්න එකයි ඇත්තේ" අම්මා යන්න ගියේ එහෙම කියාගෙන.
අප්පච්චි මට හිනාවක් පෑවා. මමත් හිනා වුණා.
"මගේ පුතා අකමැති කිසි දෙයක් කරන්න ඕන නෑ" මම යන්න හැරෙද්දි අප්පච්චි මට කිව්වා.
මම හර්ෂි අක්කා දිහා බැලුවා. ඈ උන්නේ නම් මූණ පුලුටු කරගෙන.
"මං එක්ක තරහා වෙන්න එපා අක්කා. ඔයා දන්නවනේ මම එන්න අක්මැති මොකද කියලා"
අක්කත් එක්ක කාමරේට යන ගමන් මම කිව්වා. ඈත් මා එක්ක උදේම යන්න නැවතුනා.
"මං අම්මට මොකද කියන්නේ?"
"මං අප්පච්චි බලාගන්න නැවතුණා කියන්න"
"එතකොට....අපූ...ඇහුවොත්?"
මගේ හිතට එකපාරටම දුකක් පිවිසුනත් මම හිනා වුණා යාන්තමට.
"එයා අහන එකක් නෑ"
"ඇහුවොත්?"
"එයා නිසා නෙවෙයි කියන්න"
"මං ඇයි බොරු කියන්න ඕන?"
"එයාට මාව අමතක වෙලා ගිහිං හිත හැදෙන්න"
අක්කා සුසුමක් හෙලුවා මිසක් මුකුත් කිව්වේ නෑ.
"මේකත් අපූර්වට දෙන්න අක්කා"
මම අක්කට දික් කලේ අපූර්ව මට තෑගි දීපු ෆෝන් එක. අක්කා ඒක දිහා බලලා ආයෙම මං දිහා බැලුවා.
"මට නං බෑ. ඔයා ඕක තියා ගන්න"
"අනේ අක්කා.." මම බැගෑපත් වුණා.
"ඕක ඔයාට දුන්නේ අපූර්ව. ආපහු දෙන්න ඕන නම්  ඔයාම දෙන්න. අනික ඕක දීලා කොහොමද හදිසියක් වුණොත් ඔයා මට හරි, සුදීපට හරි කතා කරන්නේ?"
අක්කා ඒක බාර ගත්තෙම නෑ.
"ගෙදර ඉඳලා හිත හිත ඔයාගෙ හිත රිද්දගන්න එපා ඉන්දි තේරුණාද?"
මම නිහඬව ඉද්දි අක්කා මට කිව්වා.
"බලමු" මම කිව්වේ යන්තම් හිනා වෙලා ඔච්චමට වගේ. මට කරන්න බැරි එකම දේත් ඒක කියලා දැන දැනත් හැමෝම මට ඒකම කරන්න කියන්නේ ඇයි?

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....