Wednesday, October 26, 2011

තිස් අටවන දිගහැරුම

අපි කරපු පාඨමාලාව අවසන් වෙන්න ඉතිරිවෙලා තිබ්බේ තව දවස් පහක් විතරයි. ඊට සතියකට පස්සේ විභාගේ. උදේ හවා නුවර යන එන එක ලේසි වැඩක් නෙවේයි කියලා දවස් දෙකක් විතර යද්දි මට හිතුණා. හවසට ගෙදර එද්දි හොඳ පණ ගිහින්. ඒත් පුංචම්මලාගේ ගෙදර යන්න තාමත් මට හිත දුන්නේ නෑ.
"අක්කා, කෑම කන්න එන්නලූ" බට්ටි පඩිපෙල පාමුල ඉඳන් කෑගහන්වා. මම පහලට යන්න ලෑස්ති වෙද්දිම වගේ මට ඇහුණා මගේ කොට්ටේ යට තිබ්බ ෆෝන් එක වදිනවා. මේ වෙලාවේ කවුරු වෙන්න ඇතිද කියලා මට හිතාගන්න බැරි වුණා. තිරේ සටහන් වෙච්ච නොම්මරෙත් මම දන්න එකක් නෙවෙයි.
"හෙලෝ..." මම කතා කලේ සැකෙන්.
"හෙලෝඅ අක්කා මම යෂිෂ්..."
මම ගල් ගැහුණා. මුකුත් නොකියම මම ඇඳේ වාඩි වුණා.
"අක්කේ...හෙලෝ, ඔයාට ඇහෙනවද?"
මම පියවි ලෝකට ආවේ ආයෙම යෂිෂ් කතා කලාම.
"ම්ම්...යෂිෂ්, හදිසියේම?"
"හදිසියක්ම නෙවෙයි, ඒත් කතා කරන්න ඕන වුණා. මොනාද ඔය දෙන්න මේ කරන්නේ?"
"අපි දෙන්නා, මොනාද ඔයා මේ කියන්නේ?"
"මුකුත් දන්නෑ වගේ කතා කරන්න එපා අක්කේ. මොනාද මේ අපූර්ව කියන්නේ? ඔයාලා දෙන්න අෆෙයාර් එක නැවැත්තුවාලු, අරකලු, මේකලු?"
මම ලොකු හුස්මක් ගත්තා.
"ඇත්ත. එයා කියන්නේ ඇත්ත යෂිෂ්"
යෂිෂ් මොහොතකට නිශ්ෂබ්ද වුණා.
"ඒත්...ඇයි?" ඊට පස්සේ ඔහු ඇහුවා.
"අපූර්ව ඔයාට කිව්වේ නැද්ද?"
"කියන්න මූ සිහියෙන් ඉන්න එපැයි. ෆෝන් එකත් පොලවේ ගහලා, කාමරේ කනපිට පෙරලලා. මට නම් තේරෙන්නේ නෑ"
යෂිෂ් කිව්වාම මගේ හිත ගිනි වැදුනා. අපූර්ව ට මොනවා වෙලා ද?
"අනේ ප්ලීස් යෂිෂ්, අපි ඕවා ගැන කතා නොක ඉමු. කොහොමටත් මේක සිද්ධ වෙන්න බෑ, අපේ ගෙදරින් කැමති වෙන්නෑ"
මම කිව්වා.
"ගෙදරට බයේ නවත්තන්න නම් මොකටද මෙහෙම දෙයක් පටන් ගත්තේ?" මගේ හිත රිදුනා. යෂිෂ්ගේ හඬ නපුරුයි.
"ඔයා දැන් ක්ලාස් එන්නෙත් නැද්ද? ඇයි නුවර ආවේ නැත්තේ?" යෂිෂ් ආයෙම අහනවා.
"මම ගෙදර ඉඳන් එන්නේ. ආයෙත් මම නුවර එන්නේ නෑ"
මම ඇඳේ රෙද්ද අතේ ගුලි කරගන්න ගමන් කිව්වා. හිත ආයෙමත් පෑරිලා.
"අපූර්ව ඉන්නේ සතුටින් නෙවෙයි අක්කා...ඔයා ඒක දන්නවද?"
මගේ උගුර හිර වුණා. ආයෙත් කතා කරන්න කලින් සුසුමක් හෙලලා මම හිත තද කර ගන්න උත්සාහ කලා.
"මම දන්නවා යෂිෂ්. මම ඉන්නේ සතුටින් කියලද හිතන්නේ?"
"අපූර්ව නිසා ආන්ටිලත් ඉන්නේ අප්සට් එකේ. මේකා ගෙදර ඉන්නෙත් නෑ. කොහේ හරි ගිහින් ගෙදර එන්නේ රෑට රෑ වෙලාලු. ඔයාට තේරෙන්නේ නැද්ද මේ විදියට ඉන්න ඔය දෙන්නට බෑ කියලා?"
මම නැගිටලා බැල්කනි එකට ගියේ කවුරුහරි ඒවි කියලා.
"ඒත් අපට වෙන කරන්න දෙයක් නෑනෙ යෂිෂ්"
"ප්‍රශ්ණ එන්න කලින් බොරුවට බය වෙලා මෙහෙම දුක් විඳින්නේ ඇයි?"
"ප්‍රශ්ණ එන්න කලින් වලක්වාගන්න ඕන නිසා. අපේ අම්මලගේ හිත් රිද්දන්න මට බෑ"
"ඔයාට හිත හදා ගන්න පුලුවන්ද?"
යෂිෂ් එහෙම ඇහුවාම මගේ හිත හොඳටම පෑරුණා.
"අපි මේ කතාව නවත්තමු යෂිෂ්. ඔයා අපූර්වට පැහැදිලිකරලා දෙන්න..."
"මොනාද?" මගේ කතාව අතරමග නැවතුනා. ඒ යෂිෂ් ගේ කට හඬ නම් නෙවෙයි.
"අපූර්ව..." මම කිව්වෙ වෙව්ලන හඬින්.
'ඔයා නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්න කියලද?" අපූර්ව ඇහුවා.
ඇස් වලට විදුලි වේගෙන් කඳුළු පිරුණා. මම මුකුත්ම කිව්වේ නෑ.
"ඔයා නුවර නාවේ ඇයි?" ඔහු ඇහුවා.
මම උත්තර දුන්නේ නෑ.
"මම නිසා නේද?"
"න්..නෑ"
"එහෙනම්?"
"මම දන්නේ නෑ"
"කමක් නෑ, මට කියන්න ඔයා හොඳින් නේද?"
"ම්ම්..."
ඊට පස්සේ දිග නිහැඬියාවක්. මට ඇහුණා ඔහු සුසුම් හෙලනවා.
"එදා මාව දාලා ගියේ ඇයි?" මම ඇහුවාමඅපූර්ව සුසුමක් හෙලුවා.
"ඔයාව දැක්කොත් දාලා යන්න බැරි වෙයි කියලා හිතුණා ඒකයි"
මම කම්මුල් පිහ ගත්තා.
"ඔයාගේ හිත රිදුණ බව මං දන්නවා...ඒ තරම්ම මගෙත් හිත රිද්දගෙනයි මම ඒ ගමන ආවේ මෙත්මා..."
මම ආයෙමත් කම්මුල් පිහ ගත්තා. මං ඇඳගෙන උන්නු ගවුමේ ඉදිරිපස තෙත් වෙලා කඳුළු වලින්.
"මොනවද කරන්නේ?" ඒ පාර අපූර්ව අහනවා.
"මුකුත් නෑ"
"හිතනවද?"
"මොනා ගැනද?"
"වුණ දේවල් ගැන"
"දන්නේ නෑ වගේ අහන්න එපා අපූර්ව" මම කිව්වේ රිදුන හිතින්.
"මං හිතනවා..."
"හ්ම්?"
"මම හිතනවා තාමත් ඔයා ගැන"
"අපූර්ව...අපි වෙන් වෙලා ඉවරයි.ඇයි තවත් ඔය වගේ දේවල් කියන්නේ? අපි මේ කතාව නවත්තමු..." දරා ගන්නම බැරි තැන මම කිව්වා.
"මං මහා කොන්ද පණ නැති කොල්ලෙක් කියලා හිතනවද?"
ඒ වචන වලට මගේ හිත සැලුනා.
"නෑ.කවදාවත් නෑ"
"මෙත්මා..." අපූර්ව කිව්වේ ඇහෙන නෑහෙන ගාණට.
"ම්ම්.."
"ඔයා නැතිව මගේ ජීවිතේ නැවතිලා..."
කඳුළු ආයෙම පිට පැන්නා. මම මුකුත් නොකියා නිහඬවම ඒවා පිහ ගත්තා.
"ඔයා අඬනව..." අපූර්ව කිව්වේ වේදනාවෙන් වගේ, කලබලෙන්.
"මම තියන්නම් අපූර්ව..."
"මෙත්මා...අහන්න..."
"ඒත් මට ඒක අහලා, අමාරුවෙන් හදා ගත්තු හිත ආයෙම අවුල් කර ගන්න ඕන වුණේ නෑ. මම නාන කාමරේට දුවලා ගිහින් ඇති වෙනකල් ඇඬුවා. මගේ හිත පාරන්න අපූර්ව ආයෙම කතා කලේ ඇයි? මහිතට ආපු ආවේගෙට මට හිතුණා බිත්තියේ හිස හප්පගෙන හප්පගෙන යන්න. ඒත් අප්පච්චි? අම්මා? මගේ ජීවිතේ මට අයිති නෑ. මම නාඬා ඉන්න උත්සාහ කලා ඒ දෙන්නා මතක් කරගෙන.

සිකුරාදා පංති නෑ කියලා අමා මට පණිවිඩයක් එවලා තිබ්බා. ඒ නිසා බ්‍රහස්පතින්දත් ඇතුලුව සඳුදා වෙනකල්ම මට දිහ නිවාඩුවක් ලැබුණා. සතියේ දවස් වල ගෙදර ඉද්දි හරිම කම්මැල්ලියි. අම්මයි, බට්ටියි ඉස්කෝලෙ යනවා. අප්පච්චි ආයෙමත් වැඩට යනවා ඉඳහිට. සීයා පප්පත් ඒ එක්කම යනවා. ආච්චි මම්මට ගෙදර වැඩ. මට කිසිම වැඩක් නෑ. වත්තේ මල් වලටයි, මගේ පළතුරු  ගස් වලටයි සාත්තු කරන්නයි, බට්ටිගේ බලු පැටියා බලා ගන්නයි මම පෙලඹුනේ ඒ නිසයි.
ඒ සීතල බ්‍රහස්පතින්දා උදෙත් ගෙදර හිටියේ මමයි, ආච්චි මම්මයි, මල්ලිකා නැන්දයි විතරයි. හැමෝම උදේම තම තමන්ගේ රාජකාරි වලට යන නිසා උදේ අට වෙද්දිම ගෙදර හිස් වෙනවා. මම උදේ කැම කාලා ඉවර වෙලා, ජර්සියකුත් දාගෙන එළියට බැස්සේ මගේ මල් පැල ටික බලන්න යන්න හිතාගෙන. ඒ එක්කම මට මීදුම අස්සෙන් පෙනුනා අපේ ගේට්ටුවෙන් වාහනයක් හරවනවා. මීදුම වැඩි නිසා ඒ කවුද කියලා මට හිතා ගන්න බැරි වුණා. බැලු බැල්මට නම් අප්පච්චිගේ කැබ් එක වෙන්න බෑ. ඒකේ ලයිට් තියෙන්නේ උඩින්. මේක කාර් එකක් වෙන්න ඕන කියලා මට හිතුණා. කලිඳු අයියා වත්ද? ඒත් අද, මේ වෙලාවේ, අනික මොකට ද? මට තවත් මොනවත් හිතන්න ඉඩ නොදී මගේ ඉස්සරහින් ඇවිත් නැවැත්තුවේ මම හොඳටම දන්න කලු පාට, කොරොල්ලා කර් එකක්. මට දැනුනේ මගේ හදවත නැවතුණා වගේ. මම පඩිපෙලේ බීරලු වැට හයියෙන්ම අල්ලගත්තා. එකපාරටම උගුර කටත් වේලිලා ගියා වගෙයි මට දැනුනේ.
"අපූර්ව..."
අපූර්ව කාර් එක නවත්තලා, ඒකෙන් නොබැහැම මගේ දිහා බලාගෙන උන්නා.මම උන්නේ කතා කර ගන්න බැරිව ගොලු වෙලා. මම එහා පැත්තේ වාඩිවෙලා උන්න යෂිෂ් දිහා බැලුවේ මේ කේ තේරුම ඔහු වත් මට කියාවි කියලා. මගේ ඇස් ආයෙමත් යොමු වුණේ අපූර්ව දිහාවට. ඔහු ගේ විදිය දැක්කාම මට දැනුනේ ලොකූ දුකක්. රැවුලත් වවාගෙන, හිසකෙස් අවුල් කරගෙන, පිස්සෙක් වගේ.
අපි තප්පරයක්, දෙකක් එහෙමම ඉන්න ඇති. මගේ හිත ගිනිගන්නවා වගේ මට දැනුනා. මගේ අපූර්ව...ඔහුත් මගේ දිහා බලාගෙන හිටියේ දුකින් වග මට පෙනුනා.
"ගෙට එන්න" මම ඊලඟට කිව්වා බිම බලාගෙන.
ඒ එක්කම වගේ ගෙදරින් මතු වුණේ ආච්චි මම්මා.
"කවුද පැංචි? " මගෙන් අහගෙන ආවත්, අපූර්ව දැක්ක ගමන් ආච්චි මම්මා ඔහුව අඳුනගත්තා.
"ආ...මේ මේ ළමයනේ? එන්න එන්න"
මම ඉක්මණට ගෙයි ඇතුලට ගියා. අපූර්ව යෂිෂ් එක්ක ගෙට ආවා ටිකකින්.
"වාඩිවෙන්න. අද නම් ගෙදර කවුරුත්ම නෑ. සතියේ දවසක් නිසා සේරම වැඩට ගිහින්. ඉතිං  මේ ළමයි මේ පැත්තෙම ආවද, නැත්තම්?"
"අපි වෙන ගමනක් යන ගමන්, මේ...බණ්ඩාරවෙල යාලුවෙක් ගේ ගෙදර" යෂිෂ් ඉස්සර වුනා අපූර්වට කලින්.
"අනේ කොච්චර හොඳද ආපු එක ඒ වුණත්. මම තේ ටිකක් හදාගෙන එන්නම්, පැංචි එක්ක කතා කර කර ඉන්නකෝ පුතාලා"
ආච්චි මම්මා ගෙතුලට ගියාම මම සැනසුම් සුසුමක් හෙලුවා.
මම දෙන්නා දිහාම බැලුවේ උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"මං ආයෙත් ආවා" අපූර්ව කිව්වේ බිම බලාගෙන.
ඔහුගේ හඬ මගේ හිතට එකතු කලේ එක්තරා විදියක අස්වැසිල්ලක්. මේ හඬ අහන්න මගේ හිත කොච්චර පෙරුම් පිරුවද හැම තප්පරේකම? යෂිෂ් නැගිටලා එලියට ගියා අපිව සාලේ තනි කරලා.
"ඒත්..." අපූර්ව කෙලින්ම මගේ දිහා බලපු නිසා මට කියන්න ගිය දේ අමතක වුණා.
"ඔයාව බලන්න මට ඕන වුනා"
මම බිමට නෙත් යොමා ගත්තේ ඒ බැල්ම මට දරා ගන්න බැරි නිසයි. ඇස් වල ආයෙමත් කඳුළු.
"මම ආවායින් ඔයාගේ හිත තවත් රිදුනද?" ඔහු අහනවා.
මම හිස වැනුවා.
"නෑ, ඒත් අපි තීරනයක් ගත්තට පස්සෙත්..." මම කියද්දි ඔහු මට බාධා කලා.
"ඇයි ආවේ කියලද අහන්න යන්නේ?"
මම නිහඬ වෙලා අහක බලා ගත්තා.
"මට ඔයාව ඕන නිසා...මං තාමත් ආදරේ නිසා...අමතක කරන්න බැරි නිසා..." අපූර්ව කිව්වේ ගොඩාක් දයාබරව. මගේ හිතට ආයෙමත් පැටවුණේ බරක්.
ආච්චි මම්මා තේ අරගෙන එන හඬ ඇහුන නිසා ඒ කියපු දේට මොනවත් කියන්න මට කාලයක් ලබුණේ නෑ.
"කෝ අනික් පුතා?" ආච්චි මම්මා ඇහුවා.
"එළියට ගියා" මම කිව්වා.
"පැංචි මේ තේ ටික එහෙනම් දෙන්නකෝ. මම ටිකකට වත්ත පහලට යනවා. අර වගා ලිඳ සුද්ද කරන්න රාමසාමි ඇවිත්. ඉක්මණට එන්නම්. පුතාලා යන්න එපා"
ආච්චි මම්මා එහෙම කියලා ආයෙමත් ඇතුලට ගියා. මම තේ පෝච්චියෙන් දුම් නගිනවා බලාගෙන හිටියා. අපූර්ව මා දිහා බලාගෙන ආයෙමත්.
"ඔයා ඉන්නේ දුකින් වග මම දන්න්වා මෙත්මා...ඔයාගේ කට හඬ ඇහුනාම, තාමත් ඔයා අඬන වග පෙනුනාම මට තවත් ඉවසන්න පුලුවන් වුණේ නෑ"
මට එකපාරටම ඔහු දිහා බැලුනා.
"යෂිෂ් නොහිටින්න මම එන්නේ ඊයේ රෑමයි"
මට ඔහු ගැන දැනුනේ ලොකූ ආදරයක්. පැනලා ඔහුව වැලඳගෙන පපුවට හිස තියා ගෙන මගේ දුක කියන්න මට ඕන වුණා.
"මුකුත් අහන්නේ, නොකියන්නේ ඇයි?"
ඔහු ඇහුවේ මා දිහාට නැමිලා මගේ දිහා බලන ගමන්.
"ආවට ඔයා ආයෙමත් මාව දාලා යන්න යාවි. යන්තමට හදාගත්තු හිත පාරන්න ආයෙත් ආවේ ඇයි අපූර්ව?"
මම ඇහුවාට වඩා කිව්වෙ නෝක්කාඩුවක්.
අපූර්ව නිරුත්තර වුණා. ඊට පස්සේ ඔහු නැගිටලා මගේ ලඟට ආවා.
"ආයෙත් රිද්දන්නේ නෑ. ඔයාගෙවත්, ඔයාගේ පේරන්ට්ස්ලාගෙවත් හිත. ලබන මාසේ රිසල්ට්ස් ආවට පස්සේ මම ඔයාගේ අප්පච්චිට කතා කරන්න එනවා"
ඔහු කිව්වාම මට උඩට ගත්තු හුස්ම පහත හෙලන්නත් මොහොතකට අමතක වුණා.
"මොනවා? ඔයාට පිස්සුද? අප්පච්චි කීයටවත් කැමතිවෙන එකක් නෑ"
"අහන්නේ නැතිව අපට ඒක එහෙම වෙයි කියලා කියන්න බෑනෙ. එහෙම නොවෙන්නත් පුලුවන් නේ"
"ඔයා මගේ අප්පච්චි ගැන දන්නේ නෑ"
"මම ඒ රිස්ක් එක ගන්නවා. ඔයා නැතුව ඉන්නවට වඩා ඒකට මම කැමතියි"
"ඒත්?"
අපූර්ව මගේ අතකින් අල්ලාගෙන මගේ මූණට එබුණා.
"ඔයාට මාව එපාද?"
ඒ ඇස් විඩාබරයි. මම මුක්කුත්ම නොකියා බිම බලා ගත්තා.
"කියන්න"
"ඕන. ඒත්?"
"එහෙනම් බය නැතුව ඉන්න"
"අප්පච්චි අකමැති වුනොත්?"
"ඒක ඒ වෙලාවට බලාගමු. දැන්ම හිතන්න එපා"
මම ඒත් හිටියේ බයෙන්මයි.
"මේ බලන්න"
අපූර්ව මගේ නිකටින් ඉස්සුවා.
"මාව විශ්වාසද?"
මම ඇස් වලින් කිව්වා ඔව් කියලා.
"එහෙනම් අහන්න. ඔයා මගේ ඇරෙන්න වෙන කාගෙවත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ"
මම ඔහු දිහා බලන් උන්නේ කියන්න දෙයක් නැතිව.
"මට ඔයාගෙන් වෙන් වෙලා ඉන්න බෑ. ඔයාටත් බැරි වග මම දනවා"

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....