Friday, July 22, 2011

තෙවන දිගහැරුම

දවසම පාඩමටම කොටු වෙලා හිටිය නිසාදෝ මට දැනුනේ තෙහෙට්ටුවක්. මායි, අක්කයි වෙනසකටත් එක්ක වත්ත පහල ලිඳේ නාන්න ගියා. අක්කා රෙදි හෝදන අතරේ මම නා ගත්තා. වතුර ටික සීතලයි. මට දැනුනේ නැවුම් ගතියක්.ගෙදරදි නම් සීතල වතුර නාන්න කොච්චර කම්මැලිද? කම්මැලි කමේ ඇද ඇද ඉද්දි අයියා හොරෙන් අපට වතුර ගහන හැටි මතක් වෙලා මට ඉබේම හිනා පහල වුණා.
"මොකද මේ තනියෙම හිනා වෙන්නේ?"
අක්ක දෙවනි පාරට රෙදි සෝදන ගමන් ඇහුවා.
"මට එහේදි නාන හැටි මතක් වුණා"
ඒ පාර රෙදි හෝදන එක නවත්තල අක්ක හිටගෙන මා දිහා බැලුවා.
"ඔයා එහෙදි ඇත්තටම නානවද?"
"බොරුවට නාන රටකුත් තියෙනවද?"
"ඉතින් හිනා ගියේ?"
"අයියා අපට වතුර ගහන හැටි මතක් වුණා"
ඒ එක්කම හිතට අවේ දුකක්. හිනාව වියැකිලා මට සුසුමක් හෙලුනා.
"අයියා මාව බලන්න ආවෙත් නෑ, කෝල් කලෙත් නෑ. ගෙදර මොනා වෙලාද, අම්මට කොහොමද, මේ මොනාවත් දන්නෙ නෑ."
ඒ පාර හර්ෂි අක්ක මගේ ලඟට අව.
"ඔය ඉතින්..ආයෙම පටන් ගත්ත නේ. අයියාට වැඩ ඇති.අප්පච්චිත් බිස්නස් වලට පිට ගිහින් ඇත්තේ. දැන් ඉතිං ඕවා ගැන හිතන්න එපා.මායි අම්මයි ඉන්නවනේ."
මම හෙමිහිට හිස් වැනුවා.
"අපි ඉක්මණට නාගෙන ගෙට යමු."
අක්ක ආපහු රෙදි සෝදන්න ගියා.

'දුවේ ඉන්දි, මට මේ හාල් ටිකේ වී අහුලලා දෙනවද? මට මේ හවස ඕක පේන්නෙ නෑ"
පුංචම්ම හාල් දාපු කුල්ලක් මා අතේ තිබ්බෙ මම ඉස්තෝප්පුවට වෙලා පොතක් කියවමින් ඉද්දි. මම පොත පැත්තක තියලා කුල්ලත් අරන් එලියට ආවා.
"කොහේද ඉතිං ඔය යන්නේ?" ඒ පුංචම්මා.
"මම වී ටික බංකුව උඩින් තියනවා, කුරුල්ලන්ට කන්න"
මම එහෙම කියාගෙන එද්දි පුංචම්ම යන්තමට හිනා වී ගෙන කුස්සියට යනවා මට පෙනුනා.ගෙදර ඉන්න කාලෙත් මම වී අට ගෙයි බැම්ම උඩින් තියන්න පුරුදු වෙලා හිටියෙ එවෙලෙට බැම්ම උඩ පිරෙන ගේ කුරුලු රෑනට ආසාවේ.
'ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක..
හීනයක් සේ පෑවියන් තනි වූ විරාමෙක..'
මගේ හිත ගැස්සිලා ගියේ එක පාරටම ඇහුණ ඒ ගී පදවැල් නිසා.හිතට එක පාරටම අවේ කලිඳු අයියා. මෙච්චර දවස් මට ඔහුව මතක් නොවී තිබ්බේ කොහොමද?මගේ හද ගැස්ම වැඩි වෙලා තිබුණ හැටි මට දැනුනා.මගෙ හිත දිව්වෙ ඉස්කෝලෙට.
"කියපන් ඉතිං එක පාරක් කිව්වාම.."
මම එක පාරටම පිටිපස්ස හැරිලා බලද්දි මං දැකපු ඒ අහිංසක ඇස් දෙක...
"න් න ..නංඟි ම් ම්ම මම ඔයාට ආදරෙයි.."
එහෙම කිව්වේ අහිංසක ඇස් අයිතිකාරයා.මම ඇස් දෙක ලොකු කර ගත්තා. ඊට පස්සේ දුවලා ගිය මම නතර වුනේ අම්මා ලඟ.අම්ම ඒ දවස් වල අපේ ඉස්කෝලෙම ගුරුවරියක්. අම්මට විස්තර කියද්දි මට ඇඬුනා මට මතකයි.අම්මා මාවත් ඇදගෙන පිටත් වුනේ උසස් පෙල විද්‍යා පන්තියට.
"කෝ කොයි එක්කෙනාද?" අම්ම සැරෙන් අහුවා.
අහිංසක ඇස් දෙක තිබ්බේ බිමට බර වෙලා. මගේ උගුර හිර වුණා.
"මෙතන නෑ අම්මා, මම කෙඳිරුවේ ඒකයි."
අම්මා නපුරු විදියට පන්තිය සිසාරා බැලුවා.
"මම දන්නවා මේක කලේ කවුද කියලා. උසස් පෙල පටන් ගත්තු ගමන් රැග් කරන්න පටන් ගත්තද? මතක තියාගන්නවල්ලා මේක විශ්ව විද්‍යාලෙ නෙවේ.භානුක...මට ආයෙම මේ විදියට එන්න ඉඩ තියන්න එපා. මගේ දුවට හරි, වෙන ගෑණු ළමයෙකුට හරි ආයෙ මේ වගේ දෙයක් කරලා තිබුණොත් මම බලාගන්නම්.."
අම්ම ඉස්කෝලෙ උන්න හොඳම ගුරුවරියක් උනත් එදා නම් අම්මට හොඳටම කේන්ති ගිහිල්ල තිබුණ.භානුක අයිය මුලු වෙලාවෙම හිටියේ බිම බලාගෙන. මම එතකොට හිටියේ දහය වසරේ බව මට හොඳට මතකයි.භානුක අයිය එදා ඉඳන් මට කිව්වේ 'කේලමී' කියලා. ඒත් ආයෙම අර අහිංසක ඇස් අයිතිකාරයාට රැග් කලේ නැති එක ගැන මම සතුටු වුණා.
දවසක් අන්තිම කාල පරිච්චේදය වෙලාවෙ මම මොකක්දෝ කාරණාවකට අම්ම හම්බවෙන්න ගිහින් හිටියා.අම්ම උන්නේ පොතක මොනවාදෝ ලියමින්.
"ආ... කලිඳු ආවද?"
අම්ම අහුවාම මමත් හැරිලා බැලුවා. එතන හිටියේ වෙන කවුරුවත් නෙවෙයි, අර අහිංසක ඇස් අයිතිකාරයා. ඔහුගේ නම මම දැන ගත්තේ එදා. අම්මා ඔහුට මොන මොනවාදෝ කියද්දි මම හොරෙන් ඔහු දිහා බලන් හිටියේ ඇයි කියලා එදා මට තේරුනේ නෑ ඇත්තටම.
"ම්..ම්...මැඩම් ම්.. ම.. මම යන්නම් එහෙනම්"
මට ඇහුනේ ඒ ටික විතරයි.
"මොකෝ අම්මේ ඒ අයියා එහෙම කතා කරන්නේ?" මම ඇහුවා මට මතකයි.
"ඒ ළමයා ගොතයි දූ...ඒකයි."
සත්තමයි, එදා අම්ම එහෙම කිව්වාම මට හුඟාක් දුක හිතුණා.හුඟාක්...
'ගෙවුණු සුවහස් මතක මතු කොට හිනැහියන්...'
මං ආයෙමත් නතර වෙලා උන්නේ නුවර.මට සුසුමක් හෙලුනෙත්, කුල්ලට කඳුලු බිංදුවක් වැටුනෙත් එකට.මට ඉක්මණට වටපිට බැලුණා. හොඳ වෙලාවට කවුරුවත් උන්නේ නෑ. මම ඉක්මණට කඳුලු පිහදා ගත්තා.
"ෂ්...ෂ්.." ඒ පාර මට ඇහුණා කවුදෝ කතා කරනවා.මම පිටිපස්ස බලද්දි තාප්පෙට උඩින් හිනා වෙවී බලාගෙන හිටියේ අපූර්ව.මමත් ඔහුට හිනාවක් පෑවා.
"හායි...අක්කි මොකද කරන්නේ?"
"හාල් වල වී අහුලනවා."
"බොරු කියන්න එපා. මම දැක්කා ඔයා කල්පනා කර කර ඉන්නවා. වී ඇහිලුවේ නෑනෙ ඔයා."
"ඒ කොහොමද දැක්කේ?"
"මම බැල්කනි එකේ ඉඳන් බලාගෙන හිටියේ"
"ඒ මොකෝ, මල්ලිට පිස්සුද? බැල්කනි වල ඉඳන් මිනිස්සු දිහා හොරෙන් බලාගෙන් ඉන්න"
ඔහු තාප්පේ උඩින් අත් දෙක තියලා ඒ මත මූණ තියා ගත්තා.
"ම්හු.මම බැල්කනි එකට වෙලා සිංදු අහගෙන ඉද්දියි ඔයාව දැක්කේ."
"හ්ම්ම්. මටත් ඇහුණා. මං ආසයි අසංඟ ගේ සිංදු වලට"
"රියලි? මාත් ආසම ගායකයෙක් තමා අසංඟ"
පාරෙ මහා සද්දෙන් වාහනයක් ගිය සද්දෙට අපූර්ව පාරට එබුනා.
"සිංදු අහ අහා ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද?"
අයෙම ඔහු මා දිහාවට හැරුණා.
"නෑ. මම මේ බ්‍රේක් එකක් ගන්න වෙලාව.ආයේ පාඩම් කරන්න පටන් ගන්නේ රෑ නවයට."
ඔහු සැහැල්ලුවෙන් උත්තර දුන්නා.
"කාල සටහනකට වැඩ කරන එක හොඳයි." මම කිව්වා.
"මොන කාල සටහන් ද අක්කි. එදා දෙන වැඩේ එදාට බලනවා. ගණං හොයා ගෙන හදනවා නිදිමත එනකල්. එපා වුණාම සිංදු අහනවා, එච්චරයි. අපි ඔය ගෑණු ලමයි වගේ කෙටි සටහන් හදා ගෙන, කකුල් වතුරෙ ඔබා ගෙන, කාල සටහන් හද හද, බොරු වැඩ කරන්නේ නෑ."
"ඇත්තට?" එහෙම ඇහුවේ හර්ෂි අක්කා. එයා ලඟට එනකල්ම අපි දෙන්නම දැක්කෙ නැහැ."තව"
"අනේ යනවා ලව්ලිනෝ යන්න..."අපූර්ව නක්කලේට කිව්වා.
අක්ක හිනා වෙවීම මා ලඟින් වාඩි වුණා.
"අදා නම් බත් කන්න වෙන්නේ වී එක්කම තමා වගේ. ඔයා වී අහුලනවද නැත්නම් කතා කර කර ඉන්නවද?"
අක්කා හාල් ටික පීරලා වී ඇටයක් ඇහින්දා.
"හා. හා. මම මේ දැනුයි ආවේ. මම ඩිස්ටර්බ් කලේ නෑ."
"අපූට චීත්තයක් ගවුමක් පේන්න බෑ නේද?"
අක්කා හදන්නේ අපූව අවුස්සන්න.
"බලන්න අක්කි මෙයා කියන කතා..." අපූර්ව රතු වෙලා.
'අනේ නිකං ඉන්න අක්කා, කොල්ලව අවුස්සන්නේ නතුව." මම අක්කට කිව්ව.
'හොඳට හිටීවි. මං ඔයාව බලා ගන්න ඕන. දැන් කාලේ මල්ලිලා තමා ෂුවර් නැත්තේ."
ඒ පාර නම් අපූර්වට කේන්ති ගියාද කොහෙද.
"යූ ආ පැතෙටික්...මම යනවා."
අපූර්ව අක්කට රවලා තාප්පේ උඩින් අතුරුදහන් වුණා.
"පව් අක්කේ" මම කිව්වා.
"එයා තරහ වෙන්නේ නෑ. අපි හුඟ වෙලාවට ඔහොම රණ්ඩු වෙනවා." අක්කට නම් හිනා.

"ඉන්දී...ඉක්මණට එන්න...කෝල් එකක්..."
පුංචම්මා කතා කරද්දි මම උන්නේ කම්පියුටරය ලඟ වැඩක.මම පහලට දිව්වේ මෙලෝ සිහියක් නැතුව.
"හෙලෝ"
"පැංචි...මේ අයියා..."
අයියාගේ කට හඬ ඇහුන ගමන් මගේ ඇස් වලට නිරායාසයෙන්ම කඳුලු පිරුණා.
"කථා කරන්න එපා මම තරහයි" මම කිව්වේ අමනාපෙන්.
"වැඩ තිබ්බා පැංචි. ඒකයි කථා කරන්නවත් නොවුනේ. ඔයා නැතුව ගෙදර කෑල්ලක්ම අඩුයි වගේ. හරිම පාලුයි."
මට ඇඬුම් ආවත් මං ආයාසයෙන් ඒක වලක්වාගත්තා.
"අම්මා, නංඟි ඔයාව හරියට මතක් කරනවා. අප්පච්චි මේ දවස් වල කැනඩා ගමනට හිටු කියලා වැඩ.ගෙදර ෆෝන් එක තාම හදලා නෑනෙ. මම මේ කතා කරන්නේ මගේ ෆෝන් එකෙන්. පැංචි...මොකෝ මේ කතා නොකර ඉන්නේ?"
අයියා ඇහුවාම මම ලොකු හුස්මක් ඉහලට ගත්තා.
"කවුද දැන් ඔයාට ටයි දාන්නේ?"
මම ඇහුවාම අයියා හිනා වෙනවා මට ඇහුණා.
"අම්මා. ඒත් ඔයා තරම් ලස්සනට දාන්නේ නෑ පැංචි."
"කෝ අම්මා?"
"අද ළමයි වගයකට ක්ලාස් එකක් කරනවා. නංඟි ඩොරින් නැන්දලාගේ ගෙදර ගිහින්.සීයා පප්පයි, ආච්චි මම්මයි පන්සල් ගිහින්"
"ඇත්තද? අම්මාට කියන්න පහෙන් පස්සේ මට කතා කරන්න කියලා"
"හා. ඉතින් කොහොමද ඔයාගේ ක්ලාස් එක?"
"හොඳයි. මට අමා කියලා යාලුවෙකුත් හම්බවුණා." මම අයියාට විස්තර කිව්වා.
"මම හෙට අනිද්දට ඇවිත් යන්න එන්නම් හොඳේ. පරිස්සමින් ඉන්න පැංචි. ඔහේ කට්ටියව මතක් කලා කියන්න. මම තියන්නම් එහෙනම්. බුදු සරණයි."
"බුදු සරණයි අයියා"
මම ෆෝන් එක තියලා කාමරේට දිව්වා. මට ගෙදරින් ආපු එකේ පාලුව හොඳටම දැනුනා.හිතේ තිබ්බේ සංතාපයක්. සේරම දමලා ගහලා ගෙදර යන්න මට හිතුණා.

1 comment:

  1. හ්ම්ම්ම් අළුත් චරිතයක් කළිඳු අයියා.... ගීතයක් ඇහුනාම මතක් වෙන්න තරම් එයා එක්ක සෑහෙන්න ලොකු බැඳීමක් තිබිලා වගේ

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....