Thursday, July 21, 2011

දෙවන දිගහැරුම

වැව රවුම ලඟදි බස් එකෙන් බැහැ ගත්තු මමයි, පුංචම්මයි, හර්ෂි අක්කයි ක්වීන්ස් හෝටලය දිහාවට වැව රවුම දිගේ ඇවිදගෙන ආවා. උදේ නිසාදෝ සීතල හුලඟක් වැව දිහාවෙන් ඇවිත් ඇඟ දැවටෙද්දි මගේ අත් වල හිරිගඩු පිපුනා. මම අත් දෙක බැඳ ගත්තේ ඒ නිසා.
"අපෝ මොකද මේ ගුලි වෙන්නේ? ගම නුවර එළියේ නේද? සීතල පුරුදු නෑ වගේනෙ."
අක්කා පුංචම්මට මාව පෙන්නුවා.පුංචම්මා හිනා වුනා.
"නුවර එළියෙදි අපි ඉන්නේ ජර්සි ඇඳගෙන නේ..." මම කිව්වා.
යාන්තමට මීදුම් පටලයකින් ව්ඨිල නිසන්සලව තිබුණ වැව් තලය හරීම ලස්සනයි කියලා මට හිතුණා.ඒත් එක්කම මහේශාක්‍ය ලීලාවෙන් නැගී උන්නේ දළදා මාලිගාව.මේ පූජනීය ස්ථානය දැක්කම හිතට ආවෙ පහන් හැඟීමක්.
අපි ක්වීන්ස් හෝටලයත් මාලිගාවත් අතරින් දිවෙන පාර දිගේ ඉදිරියට ඇදුනා.ඒ පාර කෙලින් පාරක්. මේ කොනේ ඉඳන් බැලුවාම ඈත හුඟාක් දුර පෙනුනා.මගේ ඇස් නතර වුනේ ඈත තිබ්බ රජ තල් ගස් පේලියක් ලඟ. ඒ ගස් පෙල මම දැක්කේ මේ පාර අඳුනගන්න විශේෂ සළකුණක් වගේ.
එකපාරටම මගේ දැහැන බිඳුනේ අක්ක මගේ අතින් අල්ලලා නතර කර ගත්තාම.අපි හිටියේ කලු වීදුරු වලින් ආවරණය කරලා තිබ්බ ගොඩනැගිල්ලක් ගාව.මම උඩ බැලුවා."The British Council" කියලා රත්තරං පාට අකුරින් එහි ගහලා තිබුණා.අපි දොර ඇර ගෙන ඇතුල් වුණා.
අප්පච්චි ලියවිලි සේරම සම්පූර්ණ කරලා, මුදල් ගෙවලා තිබ්බ හන්දා මට තිබුණෙ අද පන්තියට සහභාගී වෙන්න විතරයි .පුංචම්මයි අක්කයි මාව බාර දීලා යන්න හැරුණා.
"ක්ලාස් එක ඉවර වෙන්නේ හතරහමාරට. ඔයා අපේ ඔෆිස් එකට එන්න. හොයා ගන්න ලේසියි. ක්වීන්ස් එකේ යට තට්ටුවේ තියෙන්නේ. මම එදා පෙන්නුවා මතකයි නේ." යන්න කලින් අක්ක මට කිව්වම මම හිස වනුවා. ඉන් පස්සේ ඒ දෙන්න යන්න ගියා.
මට මහා තනිකමක් දැනෙන්න ගත්ත. මම පන්තියට ගිහින් මැද පෙලක වාඩි වුනේ ඒ සිතුවිල්ල එක්කමයි.මට එහා පැත්තේ හිටිය කොණ්ඩය කොටට කපපු ගෑණු ළමයා මා එක්ක හිනා වුනා.
"හායි... මම අමා, ඔයා?"
"මෙත්මා.."
"ස්වීට් නමක්" ඇය කිව්වෙත් එහෙමයි.
ටික වෙලාවක් යද්දි අපි දෙන්න වටේට තිබ්බ පුටු සේරම ළමයින්ගෙන් පිරුණා. ඊලඟට පාඩම.
"අපි එක එකෙනා අඳුනගෙනම පටන් ගමු නේද?"
අපට උගන්වන්න ආවේ මැඩම් කෙනෙක්. ඇය එක වචනයක්වත් සිංහලෙන් කතා කලේ නැහැ.ඒ පාඩම හොඳට කෙරුණා. ඒ ආස හිතෙන ගතිය නිසාදෝ වෙලාව දොලහ වෙනවා මට දැනුනෙත් නැති තරම්.
මම පුංචම්ම දුන්නු කෑම එක අමා එක්ක බෙදා ගත්තා. ඈ ඉක්මණටම මා එක්ක හිතවත් වුණා. කෑම කන අතරතුර අපි එක එක දේවල් කතා කළා. අමා පදිංචි වෙලා හිටියේ පේරාදෙණියෙ. කොහොමවුණත් අමා හරි මං එක්ක හිතවත් වුණ එක ගැන මට තිබ්බේ සතුටක්. මොකද අපේ පංතියේ හිටපු ලමයි හරි අමුතුයි කියලා මට හිතුණ හන්දා.අමා ඇරෙන්න අනෙක් අය කතා කලේ හරිම අඩුවෙන්.තව සමහරු කතා කලේම නැහැ .ඒ මේ පළවෙනි දවස නිසාද නැත්නම් ඒ එයාලගෙ විදියද කියලා මට හිතා ගන්න පුලුවන් උනේ නැහැ.
එදා දවසේ අපට ගුරුවරු තුන් දෙනෙක් ඉගැන්නුවා. මගෙ හිතට හොඳටම ඇල්ලුවේ ගජධීර මැඩම්. මැඩම්  ඔසරි අඳින, කොණ්ඩෙ ගෙඩියක් බැඳපු ආඩම්බර උඩරට මැණිකෙ කෙනෙක් වගෙයි මට පෙනුනේ.පන්තිය අහවර වෙලා මම අමා එක්කම එළියට බැස්සා.
"දැන් ඔයා කොහෙද යන්නේ?" අමා ඇහුවා.
"මම යන්න ඕන එයාර් ලංකා ඔෆිස් එක ලඟට. ඔයා?"
'මම එක්කෝ ගුඩ්ෂෙඩ් යනවා නැත්නම් ක්ලොක් ටවර් එක ලඟට ගියත් හරි."
නගරය මැද තිබුණ ඔරලෝසු කණුව මට මතක තිබුණා.
"ඔයාට නම් තනියෙම ගිහින් පුරුදු ඇති නේද?" මම අහුවාම අමාට ලොකු හිඅනාවක් ගියා.
"නැතුව.. මම හය වසර ඉඳන් ම ආවෙ ගියේ තනියෙම.ඔහොම යද්දි ඔයාටත් පුරුදු වෙයි."
අපි මාලිගාව ලඟින් අනික් පැත්තට පාර පැනලා ක්වීන්ස් හෝටලයේ පදික වේදිකාවට ගොඩ වුණා.
"මෙහේ පාර පනින්න තියෙන අමාරුව..වාහන ගොඩයි.මම මෙහේ ඉඳ හිට ඇවිත් තිබ්බට වැඩිය පුරුදු නෑ අමා. මම ක්ලාස් ගියෙත් නුවර එලියේම නේ."
අපි ඇවිදගෙන යන ගමන් මම අමාට කිව්වා.
"ඇත්තද? කාලයක් යද්දි හුරු වෙයි. කොහොම උනත් අද මට
ඔයාව හම්බවුණ එක නම් ලොකු දෙයක්. නැත්නම් අර බුම්මනොත් එක්ක ඉඳලා මට එපා වෙයි."
අමා කථා කරන්නේ හුරුබුහුටි තාලෙට දඟල දඟල.මට දැනුනේ අපි කාලෙක ඉදන්ම දන්නවා වගේ හැඟීමක් ඇය ගැන.
'ඒක තමයි. මමත් බයේ හිටියේ තනියෙම නිසා. මෙහේ මත යාලුවෙක්ට හිටියේ අක්ක විතරයි. දැන් ඔයත් ඉන්නවා."
අමා මගේ අතක් අල්ලගෙනහිස ඇල කරලා හිනා වුණා.
"මේ තියෙන්නේ අක්කගේ ඔෆිස් එක."
අපි නැවතුනේ වීදුරු දොරක් අසල.අමා එතන උන්නු ආරක්ෂක නිල්ධාරියාට කතා කරන්න හදද්දිම වගේ හර්ෂි අක්ක එතනට ආවා.
"බය වුණාද මාව හොයා ගන්න බැරි වෙයි කියලා?"
"නෑ. අක්කේ මේ ඉන්නේ අමා. මගේ ක්ලාස් එකේ යාලුවෙක්."
අක්ක අහන්න කලින් මම අඳුන්වල දුන්නා අමාව.
"හරි ෂෝක් නේ.යාලුවෙකුත් හොයාගෙන තියෙන්නේ. ඒත් මම හිතුවා තනියෙම එපා වෙලා ඉන්නවද දන්නෙ නෑ කියලා.ඔය නංඟි දැන් කොහාටද යන්නේ?"
අක්ක අමා එක්ක සුහදව කථා කලා.
"මම පේරාදෙණියට යන්න ඕනේ. මෙත්මාව ඇරලගෙන ටවර් එක ලඟට යන්නයි මම හිතන් අවේ."
"හරි නංඟි එහෙනම් ඔයා යන්න. දැන් පහටත් ලඟයි නේ. හෙට ආයෙම යාලුවෝ හම්බවෙනවනේ."
අමා අපෙන් සමු අරන් යන්න ගියා. මමයි, අක්කයි පාර පැනලා වැව රවුමට පිය නැගුවා.
හවසට බස් වල යන්න ගියාම එපා වෙනවා. සෙනග හරීයට.මොනා කරන්නද?යන්නත් එපායැ. අපි තලාතුඔය එකකවත් යමු." අක්ක මට කිව්වේ සෙනග පිරීගෙන ආපු අම්පිටියේ බස් එක දිහා බලලා.
නුවර වැව දිහාවෙන් ආපු සුලඟ අඟේ දැවටෙද්දි මට දැනුනේ සනීපයක්. බස් එක එනකල් මම වට පිට බල බලා හිටියා. එවෙලෙම වගේ අපි හිටපු තැන නතර කලේ සුදු පාට වැගන් එකක්.මම බලන්කොට අක්ක එතනට දුවලත් ඉවරයි. වාහනේ උන්නු අය මම දැක්කේ ඊට පස්සේ. වාහනෙන් පිටට ඔලුව දාගෙන උන්නු අපූර්ව මට අත වනලා කථා කලා.
"ඉක්මණට එන්න..."
වාහනේට නැගපු හර්ෂි අක්ක මම එනකල් දොර ඇරගෙන බලා උන්නා.මමත් ඉක්මණැට වාහනේට ගොද වුණා.
'හර්ෂි වැඩ ඇරිලා එන ගමන්ද?"
රියදුරු අසුනෙ හිටපු මැදිවියේ පුද්ගලයා ඇහුවා. ඒ අපූර්වගෙ තාත්තා වෙන්න ඕන.
"ඔව් අන්කල්"
"කවුද මේ අනික් කෙල්ල? නෑයෙක් ද, යාලුවෙක්ද?"
"මේ මෙත්මා..අපේ ලොකු අප්පච්චිගේ දුව.අන්කල් දන්නවනේ නුවර එලියේ ලොකු අප්පච්චි."
අක්ක මාව අඳුන්වලා දුන්නා.
"ආ  මිස්ටර් ජයමාන්න නේ. මොකද මම නොදන්නේ.ඒත් මම දැනං හිටියෙ නෑනෙ ජයේට මෙච්චර ලස්සන දුවෙක් ඉන්න බව"
අන්කල් විහිලුවට කිව්වත් මම රතු වෙන්න ඇති.අපූර්ව ඉස්සරහ අසුනේ ඉඳලා පිට්පස්සට එබිලා පැලඳගෙන උන්නු කණ්ණාඩිය සකසගෙන මා දිහා බැලුවේ ඔච්චමට.
"පුතා ඊයෙ ඇවිත් කිව්වා ඒත් හර්ෂිලාගෙ ගෙදරට අලුත් අක්කි කෙනෙක් ඇවිත් කියලා"
"අපූ මොකෝ හවස් වෙනකල් ඉස්කෝලෙ?"
අක්ක දිගටම කතා කරමින් හිටියා.
"අද ක්‍රිකට් ප්‍රැක්ටිස් තිබ්බා .ඒකයි."
"මෙයාට අද ක්‍රිකට්, හෙට රගර්, ආයෙ දවසක ස්විමිං,දවස් තුනක් ක්ලාස්...අනේ මන්ද හර්ෂි දැන් ළමයි දැක්කාම මට නම් බයත් හිතෙනවා. අපේ කාලේ නම් අපි හොඳ නිදහසේ හිටියා."
ලිවේරා අන්කල් කථා කලේ හරිම නිදහස් විදියට. අන්කල් අපේ අප්පච්චි තරම් සැර නැතුව ඇති කියලා මට හිතුණා.
"එහෙම තමා ඩැඩා, හැමදේම කරන්න ඕනෙ" අපූර්ව කිව්වා.
"ඉතින් ඔය බෝතල් අඩි දෙකත් දාගෙන පුලුවන්ද ස්පෝර්ට්ස් කරන්න?"
අක්ක ඇහුවාම අපූර්ව ආයෙම අපි උන්නු දිහාට හැරුනා.
"ඒක ඉතින් මම කොහොම හරි කරනවනේ..." ඔහු අක්කට ඇද කලා.
"මම මේකට කිව්ව ලෙන්ස් දාන කියලා. ඔය මේ අවුරුද්දේ හතරවෙනි කණ්ණාඩි කුට්ටම. ලෙන්ස් දාන බෑ කියනවනේ."
අපූර්ව මා දිහා බලලා ඇස් ඉස්සුවා.
"පේනවද අක්කි ඇස් දෙකක තියෙන වටිනාකම?"
"ඒකනේ ඇස් දෙක වගේ කියන්නේ" මම හෙමිහිට එහෙම කිව්වම හැමෝම හිනා වුනා'ඒක ඇත්ත' කියන්නා වගේ.
අපි දෙන්න බැහැ ගත්තේ අපූර්වලාගෙ ගේ ලඟින්.
"තෑන්ක්ස් අන්කල්. අපි එහෙනම් ගිහින් එන්නම්.අපූ අපි යනෝ" අක්ක අපූට අතක් වැනුවා.
"අපි ගිහින් එන්නම් අන්කල්,තෑන්ක් යූ. මල්ලි අපි යනවා" මමත් කියාගෙනම බැස්සා.
"ඕකේ" අපූර්වත් අපට අත වැනුවා.

1 comment:

  1. හරී... කෙල්ලට යාළුවෙකුත් සෙට් උනා....

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....