Wednesday, July 20, 2011

ඔබ හීනයක් වගේ... පලවෙනි දිගහැරුම

කහ පාටට පිපුණු ඇහැල මල් අතු අගිසි වලින් බිම දිහාට ගහේ හැම තැනකින්ම එල්ලිලා තිබුණා.කොහේදෝ ඉඳන් ආපු හීන් හුලඟකට පුංචි පෙති මල් වලින් ගැලවිලා කොළ පාට තණ බිස්ස මත හෙමිහිට පතිත වෙන හැටි මම ඔහේ බලාන උන්නා. මට එක පාරටම මතක් උනේ නුවර එළිය. ඇහැල මහේ හුඟ දවස් වලට මීදුමින් වැහෙන පිදුරුතලාගල කඳු වැටිය, ඊට පහලින් මගේ කාමරේට පේන ග්‍රෙගරි වැව් තලය...මේ හැම දේටම වඩා කොයි තරම් සුන්දර ද කියලා මට හිතුණා.
"ඉන්දි... මොකද කල්පනාව?" මම පියවි ලෝකෙට ආවේ පුංචම්මාගේ කට හඬින්. පුංචම්මා තේ කෝප්පෙකුත් අතේ තියාගෙන මා ගාව හිට ගෙන හිටියා.
"මුකුත් නෑ පුංචම්මේ..."
පුංචම්මා තේ කෝප්පෙ මගේ අතට දීලා මං ඉඳගෙන උන්නු බංකුවේ ම පැත්තක වාඩි වුණා.
"ඉන්දිට ගෙදර මතක් වෙනවද?"
පුංචම්මා එහෙම අහද්දි මම බිබී උන්නු තේ උගුර මගෙ උගුරෙ හිර උනා වගේ මට දැනුනා.මගෙ ඇස් වලට කඳුලු ආවත් මම මුකුත් කිව්වේ නැහැ.
…"ඔය ගෙදරටම වෙලා හිතියා මදෑ ඉතිං. දැන් පිට ඉන්නත් පුරුදු වෙන්න ඕන.ඔයාව විශ්ව විද්‍යාලෙට තේරුනොත් අවුරුදු හතරක් පහක් පිට ඉන්න වෙනවනේ. අනික ඉතින් මෙහේ ඔයාට නුපුරුදු තැනක්යැ." පුංචම්මා කිව්වේ දයාබරව. මම පුංචම්මගෙ උරහිසේ හිස තියා ගත්තා.
"මම නැතුව ගෙදර පාලු ඇති." මට කියවුණා.
උදේ අයියා වැඩට යද්දි ටයි එක දාන්නේ, නංගිගේ කොණ්ඩේ ගොතන්නේ, සීයා පප්පාට උණු වතුර ගිහින් දෙන්නේ, ආච්චි මම්මා එක්ක වත්තේ මල් පැල ඉන්දන්නේ මම. මට නිරායසයෙන්ම ඒවා මතක් වුණා. අම්මයි අප්පච්චියි බ්‍රිටිෂ් කවුන්සිල් යන්න කියලා බල කරලා මාව නුවර ගෙනත් දාපු එක ගැන මට තිබ්බේ තරහ මුසු වුණ දුකක්.
…"අවුරුද්දයි නේ ඔය කෝස් එක. අනික මාඅසෙකට පාරක් අයියා ඔයාව බලලා යන්න ඒවි නේ. හ්ම්...දැන් ගෙට යමු. හර්ෂිත් දැන් මග එනවා ඇති."
"පුංචම්මා යන්න මම තව ටිකකින් එන්නම්"
"හ්ම්.ඔය තේ එක සීතල වෙන්නවා , බොන්න දැන්වත්."
ම්ං හින වුණා. පුංචම්මා මගෙ හිස අතගාගෙනම ආපහු ගෙට ගියා.
මම නිකමට වගේ ගේට්ටුව දිහා බලද්දි එතන උන්නේ හර්ෂි අක්කා. එයාඅ මාව දැකලා ගේට්ටුව අරින ගමන්ම අත වැනුවා. නැගිටින්න කම්මැලි කමේ මම ඈ ලඟට එනකල් බලගෙන හිටියා.ඒත් ඊට කලින්...
ඌයි...මගේ හිස මුදුනට යමක් වැටෙනවා එක්කම මට කියවුණා. ඒ එක්කම ඒගේ මගෙ උකුල උඩට වැටුනේ බැඩ්මින්ටන් ගහන්න පාවිච්චි කරන ෂට්ල් කොක් එකක්. මගෙ හිතට ආවෙ තරහක්. මම ෂට්ල් කොක් එකත් අතට අර ගෙන නැගිටලා පිටිපස්සට හැරුණා.හර්ෂි අක්කත් මං ලඟට ආවෙ මෙවෙලෙ. වුණ වැඩේ දැකලා එයාටත් හිනා.මගේ තරහ තවත් වැඩි වුණා. ඊලඟ මොහොතේ අපි හිටපු තැනට මද දුරකින් තිබ්බ ගල් තාප්පේ උඩින් මූණක් විතරක් මතු වුණා.
"හායි හර්ෂි අක්කා..මේ පැත්තට ෂට්ල් කොක් එකක් එහෙම ආවද?"
කොණ්ඩය අපිලිවෙල, ටිකක් විතර කලු ඔහු අක්කගෙන් ඇහුවෙ පැලඳගෙන උන්නු උපැස් යුවලට උඩින් බලලා.මම තරහටම අතේ තිබුණ ෂට්ල් කොක් එක පොඩි කර ගත්තා.
"ආ...ඔයාල බැඩ්මින්ටන් ගහනවද නැත්තම් අහල පහල ඉන්න අයගෙ ඔලු පලන්න හදනවද?" හර්ෂි අක්ක එහෙම අහුවාම ඔහු වට පිට බැලුවා.
"ඒ කිව්වේ?" ඔහු දෑස් පුංචි කරලා මා දිහාත් බැලුවා.
"නංගි ඔන්න ඕක දෙන්න..." අක්ක කිව්වාම මම අතේ ගුලි කර ගෙන හිටපු ෂට්ල් කොක් එක ඈ අතට දුන්නා.
"මේ අපූ ඔයාලගෙ යාඩ් එකේ සෙල්ලම් කරන්න. මේක අපේ නගාගෙ ඔලුවෙ වැදුනා.අපි තාම රක්ෂණය වෙලා නෑනෙ"
අක්ක කිව්වේ හිනා වෙවී.
"අයියෝ එහෙමද? වෙරි සොරි." ඔහු මට කිව්වම මම අහක බලා ගත්තා.
"යන්නම් හර්ෂි අක්කා . තෑන්ක්ස්"
ඔහු යන්න ගියා.
"පිස්සු කොල්ලා."අක්ක එහෙම කිව්වෙ මගෙ කරට අතක් දාගන්න ගමන්. "යමු ඇතුලට."
අපි දෙන්න ගේ ඇතුලට එන්න අවා.
"කවුද අක්කේ ඒ?"
මම මෙහාට ඇවිත් දවස් තුන හතරක් උනත් මම අද වෙනකල් නොදැකපු ඔහු ගැන මම ඇහුවා.
"ආ..ඒ අපූනෙ. අපූර්ව. ඒ අය මෙහට ඇවිත් දැන් අවුරුදු තුන හතරක් වෙනවා.කොල්ලා තාම ඉගෙන ගන්නවා.එයාගෙ තාත්ත ලිවේරා අන්කල් බෑන්ක් මැනේජර් කෙනෙක්. අපූ තමා එකම කොල්ලා. එයාගෙ අක්කා ඉන්නේ යූ.එස්. ඒ. වල."
අක්කා මට විස්තර කිව්වා.
"එය කතා කරන්නේ ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් නේද?" මට දැනුන වෙනස මම අක්කට කිව්වා.
"ඔව්. ඔව්. ගෙදර එයාලා කතා කරන්නෙ ඉන්ග්ලිෂ් වලින් නේ."
"අපෝ හරි භයානකයි නේ..."
අපි දෙන්නටම හිනා ගියේ එකට.
"මම ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම්." අක්කා මාව කාමරේ ඉන්දලා නාන කාමරේට වැදුනා.

4 comments:

  1. හරිම ලස්සනයි.....ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.....ජය
    වේවා

    ReplyDelete
  2. ඔයාගේ දෙවැනි කතාව කියවන්න ගියේ ඊට කලින් මේක කියවන්න ඕන කියලා හිතුනා බලමු ඉස්සරහට

    ReplyDelete
  3. ඕන් මාත් ඔයාගෙ කතාව කියවන්න පටන් ගත්තා
    කතාව ලස්සනයි නෙතු අක්කි ඔයාට තව මේ වගෙ
    කතා ලියන්න සුබ පතනවා..Good luck!! <3

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....