Wednesday, July 20, 2011

පළවෙනි දිගහැරුම ඉතිරි කොටස ...

හර්ෂි අක්කා නිසා මට හවසට නම් ඒ තරම් පාලුවක් දැනුනෙ නැහැ. ඒත් නුවර එයාර් ලංකා ශාඛාවේ වැඩ කරන අක්ක උදේ හතට ගියාම ආපහු ගෙදර ආවෙ හවස හයට විතර. ඉතින් සතියෙ දවස් වල මුලු දවසම වගේ ගෙදර උන්නේ මමයි පුංචම්මයි විතරයි.
අක්කා එනකම් මම කාමරේ පුරාවට නෙත් යොමු කලා. ඇඳයි, පුංචි මේසෙයි, අල්මාරියයි විතරක් තිබ්බ නිසා දෝ කාමරේ ඉඩකඩ වැඩිපුර තිබුණා.ඇඳට ඉහලින් එල්ලලා තිබුණෙ මද්දු බාප්පාගේ පින්තූරයක්. මීට අවුරුදු හතරකට කලින් බාප්පා අවාසනවන්ත විදියට රිය අනතුරක් වෙලා අපෙන් සමු ගත්තු හැටි මතක් වුණාම මට දැනුනේ දුකක්.

"මෙච්චර දවස් වහලා තිබ්බ කම්පියුටරේ අද වැඩ පටන් ගන්නව. ඔන්න ඉන්දි මේක දැන් ඔයාගෙ..."
හර්ෂි අක්කා කම්පියුටරේ වහල තිබ්බ රෙද්ද අයින් කරල මට කිව්වා.
ඊට පස්සෙ අපි දෙන්න පැයක් විතර කම්පියුටරේ වැඩ කරවන්න උත්සාහ කලත් ඒක හරියට වැඩ කලේම නැහැ.
"මේක මම කාලෙකින් පාවිච්චි නොකරපු නිසාද මන්ද...අනේ මේකට මොනාද වෙලා තියෙන්නේ..." අක්කා තනියෙම නෝකාඩු කියද්දි මමත් එයා අසලින් වාඩිවුනේ උනන්දුවෙන්.හැබැයි මමත් දැනගෙන උන්නු දෙයක් නම් නෑ.
"දැන් ඉතින් මොකද කරන්නේ අක්කේ? හදන්න ගෙනියන්න වේවිද?"
අක්ක ඒ පාර ඔලුවේ අත ගහ ගෙන කල්පනා කරන්න ගත්තා.
"මේවා ගැන වෙන දන්න කෙනෙක් නැද්ද?" මම ආයෙම ඇහුවා.
අක්ක එක පාරටම මා දිහා බැලුවා.
'හරි" එහෙම කියාගෙනම ඈ පහල තට්ටුවට දිව්වෙ මාවත් පුදුම කරමින්. 'ඒ පාර කොහේද එයා දිව්වේ?' මම විනාඩි පහක් විතර බලා හිටියත් අක්කා ආවේ නැහැ.තව ටික වෙලාවකින් මට ඇහුණා අක්කා කා එක්කදෝ කතා කරමින් උඩට එනවා.මම කම්පියුටරය ලඟින් මෑත් වෙලා හිට ගත්තා.
අක්කත් එක්කම වගේ කාමරේට ඇතුල් වුනේ හවස අපට මුණගැහුණ කෙනා 'අපූර්ව'.ඔහු කාමරේට ඇතුල් වුණේ මං දිහා බලාගෙන. මට එක පාරටම කම්පියුටරය දිහා බැලුනා.ඔහු ඇවිත් කම්පියුටරය ලඟින් හරි බරි ගැහිලා වාඩි වුණා.ඔහු මගේ වයසෙම වගේ බව පෙනුනත් උසින් මහතින් නම් මම වගෙ දෙකක් විතර බවයි මට නම් පෙනුනේ.
"ඔයා මේක අන්තිමට පාවිච්චි කලේ කවද්ද?"
කම්පියුටරයෙන් ඉවතත නොහැරීම අපූ ඇහුවා.
"අනේ මන්දා මල්ලි මට නම් මතකයක් නෑ. හුඟ දවසක් ඇති"
"මං කියන්නද අපි මේක ෆෝමැට් කරලා, මුල ඉඳන් සේරම අයේ දාමු."
සෑහෙන වෙලාවක් කම්පියුටරය එක්ක ඔට්ටු වෙලා මහන්සි වෙලා හිටපු අපූ අන්තිමට එහෙම කිව්වා.
"ඔයාට ඕන දෙයක් කරල ඕක හදලා දෙන්න මල්ලි මෙන්න මේ කෙල්ලට.." අක්කාටත් එපාවෙලා.
"ඉතිං කවුද මේ අලුත් මූණ?" අපූ කම්පියුටරය සකසන ගමන් අපි දිහාවට හැරිලා ඇහුවා.
"අනේ ඔව්මයි... මට අඳුන්වලා දෙන්නත් බැරි වුණා නේ..මේ අපේ ලොකු අප්පච්චි ගේ දෙවනි දුව මෙත්මා.."
අපූ මං දිහා බලලා යන්තමට හිනා වෙද්දි මමත් පුංචි හිනාවක් පෑවා.
'හෙලෝ මෙත්මා...මම අපූර්ව, අපූර්ව හේෂාන් ලිවේරා." ඔහු මා දිහාවට අතක් දික් කලා. ඒ විදිහට මිනිස්සුන්ට අතට අත දීලා කතා කරන පුරුද්දක් මට තාම තිබ්බේ නැහැ. මම අත නොදුන් නිසා ඔහු අත ආපහු ගත්තේ උරහිස් හකුලුවන ගමන්.
"මෙත්මා නෙවෙයි මෙත්මා අක්කා..මෙයා ඔයට වඩා අවුරුද්දක් වැඩිමල්. මෙහේ අවිත් ඉන්නේ බ්‍රිටිෂ් කවුන්සිල් යන්න." හර්ෂි අක්ක පැහැදිලි කලා.
"නයිස් මීටින්ග් යූ මෙත්මා අක්කා..."
"සේම් හියර්.."

"මේ...මේකට ඔයගේ නම දාන්නද අක්කේ..."
කම්පියුටරය සකසමින් හිටපු අපූර්ව එහෙම අහද්දි කාමරේ උන්නේ මං විතරයි. මට එක පාරටම කිව යුතු දෙයක් හිතා ගන්න බැරි වුනා.
'ආ...අනේ මන්දා."
"කාගෙ නම දැම්මාම මොකද එක අතකට. අක්කි ගේ නම මෙත්මා විතරද?"
අපූර්ව ඊලඟට එහෙම අහුවා. ඔහු සුහදශීලියි කියලා මට හිතුණා.
"මෙත්මා ඉන්දීවරී ජයමාන්න" මම උත්තර දුන්නා.
"නම ලස්සනයි..."
ඒ කතාවට මම හිනා වුණා විතරයි.
මට මල්ලිලා නොහිතිය නිසාදෝ අපූර්ව ගැන පැහැදිලි අදහසක් මගේ හිතේ තිබ්බේ නැහ. ඒත් අපූර්ව හොඳයි කියලා මගෙ හිතට දැනුනා. ඔහුගේ පෙනුමත් මගෙ හිතෙ අති කරල තිබ්බේ පැහැදීමක්.
"අක්කි බ්‍රිටිෂ් කවුන්සිල් යන එක හොඳයි. අපේ අක්කිත් ගියා. එයා දැන් ඉන්නේ යූ.එස්.ඒ. ඔයත් මයිග්‍රේට් කරන්නද හිතාගෙන් ඉන්නේ?"
"එහෙම මොනාවත් හිතලා නෑ තාම මල්ලි. අප්පච්චි කියන දෙයක් තමා කරන්නේ ඉතින්"
එවර අපූර්ව මා දිහාවට හැරුණා.
"එතකොට ඔයා මෙහේ ආවෙත් ගෙදරින් කියපු හින්දාද?"
මම බිම බලාගෙන හිනා වුනා. ඒත් මගෙ හිතේ තිබුනේ දුකක්.
එවෙලෙ තේ බන්දේසියක් උස්සගෙන හර්ෂි අක්ක කාමරේට ආවා.
"අපූ..තේ ටිකක් බොමු."
'අනේ ඇයි තේ ගෙනාවේ? දැන් කන වෙලාවනේ."
"එහෙනම් ඉතින් කන්නත් දෙන්නම්"
අපූර්ව හිනාවුණා.
"ගෙනාපු එකේ බොන්න මල්ලි" මමත් කිව්වා.
"ඔව්. තාම හතයි. රෑට කද්දි ඉතින් අට නවය වෙනවනේ. ආ...ඉන්දිටත් තේ ගෙනාවා."
අපි තුන් දෙනාම වාඩි වෙලා තේ බොන්න පටන් ගත්තා.
අක්කිට මේ පාර එක්සෑම් ලේසිද?"
අපූර්ව මගෙන් අහුවා.
"ඒක ඉතින් රිසල්ට්ස් ආවාම තමා බලන්න වෙන්නේ" මම කිව්වාම අක්කයි, අපූර්වයි දෙන්නම හිනා වුණා.
"ඒක හරි. අක්කි ඒ. එල්. වලට මොනාද කලේ?"
"බයෝ"
"ඇත්තට? මමත් කරන්නේ බයෝ" අපූර්ව කිව්ව.
"ඉතින් ඔයාට විෂයන් ලේසිද?"
"දැනට නම් අප්සට් එකක් නෑ. කෙමිස්ට්‍රි තමා චුට්ටක් විතර කේස්" ඔහු කට ඇද කලා.
"මම නම් ආසම කෙමිස්ට්‍රි." මම කිව්වා.
කතාවෙන් හිනාවෙන් කාලය ගෙවිලා ගියා. අපූර්ව හින්ද යන්තම් කම්පියුටරෙත් හදා ගත්තා.
අපූර්ව යන්න යද්දි අපි හොඳටම අඳුනගෙන හිටියා වගේ හැඟීමකුයි මට දැනුනේ.
"අද හවස වෙච්ච දේට ආයෙමත් සොරි" පිටත්ව යද්දි අපූර්ව මට කිව්වා.
"ඒකට කමක් නෑ"

1 comment:

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....