Tuesday, November 1, 2011

හතලිස් දෙවනි දිගහැරුම


"අප්පේ නෝනා මහත්තයාට අපිව මතක් වෙලා තියෙන්නේ"
මමයි, අප්පච්චියි ගෙට ඇතුල් වෙද්දි පුංචම්මා කිව්වේ හිනාවකුත් මුවේ තවරගෙන. මම මුකුත්ම නොකියා හිනා වෙලා ඈට තුරුල් වුණා.
"අමතක වෙලා නෙවෙයි පුංචම්මා. එන්න වෙලාවක් වුණේ නෑනෙ"
"හ්ම්. අපටත් ආරංචියි ටික ටික"
පුංචම්මා කිව්වේ කලිඳු අයියා ගැන වග මං දැනගත්තා.
"තකහනියෙම සේරෝම දේවල් ලෑස්ති වෙච්ච නිසා නංඟිලට කියන්න වෙලාවක් වුණේ නෑ. ඒ ගැන අමනාප වෙන්න එපා" අප්පච්චි කිව්වා.
"පිස්සුද අයියේ? මම අමනාප වෙන්නේ මොකටද? වැඩේ හොඳින් සිද්ධ වුණා නම් එච්චරයි. අනික කිව්වත් මට එන්න ඉස්පාසුවක් තියෙන එකක්යැ"
පුංචම්මා කිව්වාම මම ගේ පුරා ඇස් යැව්වේ අපර්ණා බැරි වෙලාවත් පේන්න ඉඳීද කියලා. ඒත් ඈ හිටියේ නෑ.
පුංචම්මා කුස්සියට තේ හදන්න ගිය අතරේ මමත් ඒ පැත්තට ගියා.
"කෝ අපර්ණා අක්කා?" මම රහසින් ඇහුවා.
"උඩ කාමරේ. ඔයාලා එනවා දැක්ක ගමන් මම යැව්වා උඩට" පුංචම්මත් කිව්වේ රහසින්.
"එක නෙවෙයි, මම අහන්නම හිටියේ, කොහොමද මනමාල මහත්තයා?" පුංචම්මා ඇහුවෙත් මනමාල හිනාවක් පලා.
මම බිම බ්ලා ගත්තා.
"අනේ මගෙන් නම් ඕවා අහන්න එපා"
"ඒ මොකෝ, ඒ ළමයට ඔයා අකමැතිද?"
මගේ කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් ඒ කට්ටිය කේන්දරත් බලන්න දීලා.මං අකමැති වුණා කියලා මොනවා වෙන්නද?"
පුංචම්මා මගේ දිහා පරීක්ෂාවෙන් බැලුවා.
"මට පේන්නේ ඔයා අකමැතියි කියලා"
"මට එයාව හම්බවෙලා තියෙන්නෙත් දවස් දෙකයි.මොනවත් එයා ගැන දන්නෙත් නෑ. කේන්දරත් බලලා"
මම නෝක්කාඩු කිව්වා.
"ඒක නම් ඉතින් කලින් බලන්නම ඕන නේ. මොකද නොගැලපෙනවා නම් ඒක නතර කරන්න එපැයි. කේන්දර බැලූ පලියට , ඔයා අකමැති නම් අප්පච්චි බල කරන එකක් නෑ"
මගේ හිතට පුංචි අස්වැසිල්ලක් දැනුනා.
"බල්මුකෝ" ඒත් මම කිව්වා.
තේ බීලා ඉවරවුණ ගමන්ම වගේ අප්පච්චි යන්න පිටත් වුණා. මම සැනසුම් සුසුමක් හෙලුවේ ඊට පස්සේ. අප්පච්චි ගිය ගමන්ම මම උඩ තට්ටුවට දිව්වා අපර්ණා බලන්න.
මම කාමරේට යද්දි අපර්ණා අක්කා ඇඳට වෙලා පොතක් බලනවා. මාව දැක්ක ගමන් ඇයට ලොකු හිනාවක් ගියා.
"අනේ...නංඟි ඇවිත්!" ඇය ඇඳේ වාඩි වෙන ගමන් කිව්වා.
මම හිනා වුණා.
"ඔව්. මං ආයෙත් ආවා"
"කොහොමද ඉතිං?"
අපර්ණා ඇහුවා. රෝස පාට හවුස් කෝට් එකට අපර්ණා හැඩයි. මගේ ඇස් එකපාරටම යොමු වුණේ ඉදිරියට නෙරා ඇවිත් තිබ්බ කුස දිහාට.
"හොඳයි. සුදීප ජුනියර් පේන්න ඇවිත් ඉන්නේ"
මම කිව්වාම අපර්ණා අක්කා ලැජ්ජාවෙන් හිනා වුණා.
"කෝ, සිනියර් සුදීප?"
"අද නැත්තං හෙට ඒවි. වැඩත් කරන්න එපැයි"
"අයියා නිකං වත් මට කතා කරේ නෑ, එකපාරක් වත්"
මම කිව්වාම අපර්ණාගේ හිනාව වියැකුනා.
"වෙච්ච දේවල් ගැන එයා ඉන්නේ කලකිරිලා"
මම සුසුමක් හෙලුවා.
"මට තේරෙනවා අක්කේ"
"ඔයාට දැන් වෙන්න යන දේවල් වලටත් අපි දෙන්න වග කියන්න ඕන" අපර්ණා කිව්වාම, ඒක තේරුම් ගන්න බැරිව මං ඈ දිහා බලුවා.
"ඒ කිව්වේ?"
"ඔයාට ගෙදරින් කටයුත්තක් කතා කරලා බව පුංචම්මලා අපට කිව්වා. ඒ හැම දේකටම මේ තරම් හදිසි වුණේ ඔයත් සුදීප වගේ දෙයක් කරයි කියලා වෙන්නත් පුලුවන්. ඔයා ඒ යෝජනාවට අකමැතියි කියලා මම දන්නවා නංඟි"
මම ඈ දිහා බලාගෙන උන්නේ පුදුමෙන්.
"සුදීප ඒ ගැනත් ඉන්නේ දුකෙන්. අප්පච්චිලා එයාලගේ පරමාර්ථ ඔයාගෙන් ඉටු කර ගන්න හදනවා කියලයි එයා කියන්නේ. ඒත් මම එහෙම හිතන්නේ නෑ. අප්පච්චිලා බය අති ඔයත් හිතුවක්කාර වෙයි කියලා. මම ඒ අයට දොස් කියන්නේ නෑ. ඒත් මට ඔයා ගැනයි, අපූ ගනයි දුකයි නංඟි"
මම තවත් පුදුම වුණා. අපර්ණා අපි දෙන්න ගැනත් දන්නවද?
"ඒත්...ඔයා කොහොමද දන්නේ මමයි, අපූර්වයි..." මම තැතනුවා. "මේක අයියත් දන්නවද?"
"අයියට මං කිව්වේ නෑ. ඔයාලා දෙන්නා ගැන මට කිව්වේ අපූර්වමයි. පව් ඒ කොල්ලා ඔයා ගැන ගොඩාක් හිතනවා"
අපර්ණා කිව්වාම මගේ හිතට බරක් පිවිසුනා.
මම අපර්ණා අසලින් වාඩි වුණා.
"මං දන්නේ නෑ මොනවා කරන්නද කියලා අක්කා. අපේ ගෙදරින් දැන් ගත්තොත් අප්පච්චි මොනවා කරයිද දන්නේ නෑ. ඒ නිසාම මට මේ ගැන කලිඳු අයියට කියන්නත් බෑ.ඔන්න එයාම මට අකමැති වෙනවා නම් එකක්"
අපර්ණා මගේ අතකින් අල්ලගත්තා.
"කවුරු මොනවා කිව්වත් අන්තිමට ඔයා ඔයාගේ හිතට හරියි කියලා හිතෙන දේ කරන්න. ජිවිත කාලෙම විඳවන්න වෙන දෙයක් නම් කරන්න එපා"
අපර්ණා කිව්වා.
මගේ හිතට හරි කියලා මේ වෙලාවේ දැනුන එකම දේ කවදාහරි මමයි, අපූර්වයි එකට ඉන්න ඕන කියලා විතරයි.
හවස හර්ෂි අක්කා මාව පිළිගත්තේ ලොකු සතුටකින්.
"ඇති යන්තම් ආවා"
ඔය අතරේ මගේ ෆෝන් එක නාද වුණා. අපූර්වගෙන් එස්.එම්.එස්. එකක්.
"ඇඳුම් මාරු කරගන්නකෝ. මං උඩට එන්නම්"
මම අක්කට කියලා ෆෝන් එකත් අරන් එලියට ආවා.
'අයිම් බැක්. කෝල් මී වෙන් යූ සී දිස්'
මම එවෙලෙම ඔහුට කතා කලා. ටිකකින් මට අපූර්වගේ හඬ ඇහුනා, මගේ හිතට පිවිසුනේ ලොකු සෙනෙහසක්.
"අපූර්ව මම නුවර ආවා" මම කිව්වා.
"වාව්! නියමයි නේ. මම හිතාගෙන හිටියේ මට ඔයා බලන්න ඔයාගේ අප්පච්චිගේ බලකොටුවට එන්න වෙයි කියලා. මම එද්දි නම් රෑ වෙයි" ඔහු කිව්වා.
"කමක් නෑ. හෙට හම්බවෙනවනේ"
"ඔයාව දකිනකල් ඉවසිල්ලක් නෑ ඒත්"
"ඒකට කමක් නෑ. අනේ රෑ වෙලා නම් එන්න එපා. පුංචම්ම මොනවත් හිතයි, හොඳේද?"
"හොඳයි. හොඳයි...ආ...මට මගේ ලැගේජ් ගන්න යන්න ඕන. පස්සේ කතා කරන්නම්...බායි..."
අපූර්ව හදිසියෙන්ම අමතුම විසන්ධි කලා. හිතේ තිබුණ නොසන්සුන් ගතිය ටිකක් අඩු වෙලා වගේ මට දැනුඅනා.
පුංචම්මා රෑට හදලා තිබ්බේ මැකරෝනි. අපර්ණා අක්කායි, මායි නිසා. අපි තුන් දෙනා බඩ පැලෙන්න කාලා කාමරේට වෙලා කම්මැලි විදියට ඇඳේ ඉඳගෙන හිටියා.
"මට හුස්ම ගන්නත් බෑ වගේ කාලා වැඩි වෙලා" අපර්ණා අක්කා බඩ අතගානවා.
"මටත්" මම  කිව්වා.
"ටිකක් නැගිටලා ඉන්නකෝ, ඔය ගතිය හරි යයි එතකොට" අක්කා අපර්ණට උපදෙස් දෙන්නවා. ඒ පාර අපර්ණා නැගිටලා ජනේලේ ලඟට ගියා.
"එක්සෑම් එකෙන් පස්සේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ?" හර්ෂි අක්කා ඇහුවේ අපර්ණාගේ ඇඳේ ඇලවෙන ගමන්.
"ඊලඟ ලෙවල් එක කරන්න බලනවා. මට මේ තත්වේ උඩ ගෙදර ඉන්න හිතෙන්නෙත් නෑ අක්කේ. හැම වෙලේම හිත  අවුල් වෙන දේවල් තමා වෙන්නේ" මම කිව්වා.
අපර්ණා උන්නේත් මගේ දිහා බලාගෙන.
"දැන් අපූර්ව මොකද කියන්නේ?" ඈ ඇහුවා.
"මම එයාට තාමත් කිව්වේ නෑ. අද තමයි ඉන්ඩියා ඉඳලා එන්නේ. මේක කොහොම එයාට කියන්නද කියලා මට තේරෙන්නේ නෑ. ඒත් කියන්නම එපෑ"
"එතකොට ඔය කලිඳු කියන හාදයා මොකද කියන්නේ?"
හර්ෂි අක්කා ඇහුවා.
"පේන විදියට නම්  එයාගේ අකමැත්තක් නෑ වගේ"
"ඔයාගෙන් එයා ඇහුවද කැමතිද කියලා?" ඒ අපර්ණා.
"නෑ එහෙමම ඇහුවේ නෑ. යෝජනාවට කැමතිද කියලා නම් ඇහුවා"
"ඉතිං?"
"මම කිව්වා තව හිතන්න ඕන කියලා"
"අන්තෝ ජටා බහි ජටා කිව්වලු"හර්ෂි අක්කා කිව්වා.
ඒ අතරේ අපර්ණා එක පාරටම ජනේලෙන් එලිය බැලුවේ වාහන සදයක් ඇහුන නිසා. මගේ හිතත් කලබල වුණා.
"අපූර්වලගේ ගෙදරට තමා වහනේ ආවේ"
අපර්ණා මට කිව්වා.
මමත් නැගිටලා ජනේලේ අසලට ගියා. කලුවර නිසා මොනවත් පේන්නේ නම් නෑ. වාහනේ හිටපු අය බැහැලා ගේ ඇතුලට ගිහින්ද කොහෙද.
අපි දෙන්නා බෙලි දික් කරගෙන බලාගෙන ඉන්න අතරේ හර්ෂි අක්කා පහලට ගියා. කෝකටත් මම වහලා තිබ්බ ජනෙල් පියන ඇරියා.
"පේන්නේ නෑනෙ" අපර්ණා අහනවා.
"ම්හු. නෑ"
"කාවද හොයන්නේ?"
මමයි, අපර්ණා අක්කයි දෙන්නම උඩ ගියා. අපි හැරිලා බලද්දි දොර ලඟ උන්නේ අපූර්ව.
"සප්‍රයිස්!"ඔහුට එහා පැත්තේ හර්ෂි අක්කත් හිනා කටක් පුරවගෙන හිටියා.
 මම පුදුම වුණ පාර කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරිව ම්මොහොතක් ගල් ගැහිලා බලාගෙන හිටියා. ලා නිල් පාට අත් දිග කමිසේ අත් දෙක වැලිමිට ලඟට නවලා, හිසකෙස් අමුතුවට හදලා, යානතමට දැලි රැවුලක් වවලා හිටිය අපූර්ව මට පෙනුනේ හැඩට. ඒ මූණේ හිනාවක් තිබුණත් මහන්සි පාටත් හොඳට පෙනුනා.
"අපූර්ව, ඔයා හරි එක්කෙනා තමා. මමත් ගැස්සුනා" අපර්ණා අක්ක දොර ලඟට යන ගමන් කිව්වා. මම තාමත් උන්නේ ජනේලේ ලඟ.
"විනාඩි දහයක් දෙන්නම් උපරිම අම්මා උඩට එන්න කලින්" හර්ෂි අක්කා එහෙම කියලා, අපර්ණාවත් ඇදගෙන එලියට ගියේ අපි දෙන්නව කාමරේ තනි කරලා.
අපූර්ව මා දිහා බලාගෙන උන්නේ දිලිසෙන දෑසින්. මගේ ඇස් වල ආයෙමත් කඳුලු. 'වුණ දෙවල් අපූර්ව දන්නවා නං?'
අපූර්ව හෙමින් මගේ ලඟට ආවා.
"ඔයා හොඳි නේද?" ඔහු ඇහුවේ මගෙ දෑස් දිහා බලාගෙන.
මම දෙවරක් නොහිතා ඔහුගේ පපුවට හිස හේත්තු කර ගත්තා. ඔහු මාව මුදුවට තුරුලු කර ගත්තා. අපි මොහොතක් එහෙම ඉන්න ඇති.
"ගෙදරටවත් නොගිහින් මුලින්ම ආවේ ඔයා බලන්න" අපූර්ව හෙමින් මිමිනුවා. මම නිහඬවම හිටියා.
"ඇයි මොනවත්ම කියන්නේ නැත්තේ?" ඔහු අහනවා.
මම ඔහුගෙන් ඈත් වුණා. පුංචම්මා ආවොත් වත් කියලා. අපූර්ව මගේ අතකින් අල්ලගත්ත ඒ පාර. ඔහුගේ ඇස් තිබුණේ තාමත් මගේ දෑස් අසලමයි.
"කොහෙන්ද ඔයාට ඔච්චර කඳුළු? හැම වෙලේකම ඔයා කඳුළු පුරෝගත්ත ගමන්"
"මේ සතුටු කඳුලු...ඔයා ආපු නිසා"
අපූර්ව මගේ අත මිරිකුවා.
"හෙට හම්බවෙනවා නේද? මං උදේ එන්නම්. දැන් යන්න ඕන. මමා බලාගෙන ඇති. ගෙනාපු තෑගි දෙන්නත් තියෙනවනේ"
"ඔයා ආපු එකම මට ඇති අපූර්ව" මං කිව්වේ මගෙ අනික් අතත් ඔහ්ගේ අත උඩින් තියලා."දැන් එහෙනම් යන්න. පුංචම්මත් එන්න බැරි නෑ. ඔයාටත් මහන්සි ඇති නේ " මම කිව්වා.
අපූර්ව මගේ දෙකම අරන් සිපගත්තා, මගේ ඇස් මගනෑරම. මේ මොහොතේ අපූර්ව ගැන ආදරේ ඇරෙන්න හිතේ වෙන කිසි දේකට ඉඩක් තිබුණේ නෑ.
"හෙට උදේ දහයට, අපේ ගේට් එක ලඟදි. මම බලාගෙන ඉන්නවා. ගුඩ් නයිට් පැටී "
ඔහු එහෙම කියලා හෙමිහිට මගේ දෑත් අතෑරලා යන්න ගියා. හර්ෂි අක්කලා කාමරේට එනකොටත් මම ජනේලේ ලඟ හිටගත් වනමයි.
"අම්මෝ කෙල්ලගේ මූණේ තියෙන පෙම් පාට' හර්ෂි අක්කා ඇදලා පැදලා කිව්වා.
"අනේ යන්න අක්කේ යන්න" මම ලැජ්ජාවෙන් අනික් පැත්තට හැරුණා.
ඇත්තටම හිත පිරිලා වගේ මට තේරුණා. අනාගතේදි මොනවා වුනත් අද, දැන් මේ මොහොතේ මම තාමත් අපූර්වගේමයි.

2 comments:

  1. thama nam are widihe darunu theeranayakate mawe adela danen ape family eke aye hithela na,, aith matath ehema dekate langidima muhuna denne wey ne,, apoy,, :( hmmmmmmmmmmmmmm ane apurway methamaway kawedawath wen karane epa :)

    ReplyDelete
  2. සමහරවිට ඔයාට එහෙම වෙන එකක් නෑ. වෙන්නත් එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා...අපූර්වටයි, මෙත්මටයි වෙන දේ ලියවිලා ඉවරයි...ඒක මොන විදියේ දෙයක් වෙයිද කියලා බලාගෙන ඉන්න...
    ඔයාගේ කතාවත් අහන්න ආස හිතෙන, ඇහුවාම දුක හිතෙන එකක් වගේ කියලා හිතෙනවා මට.

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....