Thursday, November 3, 2011

හතලිස් පස්වෙනි දිගහැරුම


මම එක පිම්මේ ගෙට දිව්වා. ගේ ඇතුලෙන් ඇහුණේ කාගෙදෝ උස් හිනා හඬක්. හිතේ බය ටිකක් තුරල් වුණා.
"සීයා පප්පා?" මම ගෙට ඇතුල් වුණේ හිනා වෙවී උන්න සියා පප්පා දැකලා පුදුම වෙලා."ඔයාලා මෙහේ?"
හැමෝම හැරිලා මා දිහා බැලුවා. කලිඳු අයියා, වත්සල අයියා විතරක් නෙවෙයි ආච්චි මම්මත් ඇවිත් හිටියා. මම ආච්චි මම්මා ලඟට ගියා.
"කීයටද ආවේ?"
"මේ දැන් පැයක් ඇති" ආච්චි මම්මා කිව්වා.
"මගෙයි, ආච්චි මම්මාගෙයි ඇස් පෙන්නන්න කියලා ආවේ. මේ වත්සල පුතාගේ පෙරැත්තේ නිසාම නෙවෙයි නං එවෙන්නෙත් නෑ. බලෙන්ම වගේ ඇදගෙන ආවනේ"
සීයා පප්පා කිව්වා.
"දීපායි, කෙල්ලවයි බලන්නත් උවමනාව තිබ්බා"ආඅච්චි මම්මා කිව්වා.
"ඒක නම් ලොකු දෙයක් ඩොක්ට. නැත්තම් මේ ජෝඩුව නුවර එලියෙන් එලියට ගන්න එක ලේසි නෑ"
මම වත්සල අයියට කිව්වා.
"ඩොක්ට? ඩොක්ට නෙවෙයි අයියා කියන්න" වත්සල අයිය ඒ පාර කියනවා.මම හිනා වුණා.
කලිඳු අයියාත් මා දිහා බලාගෙන උන්නත් මම ඔහුට වචනයක් වත් නොකියා කුස්සියට ආවේ පුංචම්මා හොයන්න.
"මං එන්නම්"
මම කුස්සියට යද්දි පුංචම්මා පස්සේ දොරෙන් ඇතුල් වුණා.
"ආ..ඔයා ආවද? හොඳ වෙලාවට. බලන්නකෝ වෙච්ච දේ. අම්මලා හදිසියේම ආවා කියන්නෙත්  නැතුව. මම අපර්ණාව හංගගත්තේ බොහොම අමාරුවෙන්. කරන්නම දෙයක් නැති නිසා මම එයාව සුධර්මලගේ ගෙදර නැවැත්තුවා"
පුංචම්මා රහසින් කිව්වේ කුස්සියේ දොර දිහා බල බල.
"ඒක තමා, මාත් මේ ආවේ ඒක අහන්න තමා. පව් වැඩේ"
"ඒක නේන්නම්. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. අම්මලා හැමදාම එන්නෙත් නෑනේ. අපරාදේ කියන්න බෑ සුධර්මා අපර්ණාව බලා ගනී හොඳට"
මම හිස වැනුවා.
"ඔයා මොකද අද පරක්කු? කොහොමද විභාගේ?" පුංචම්මා හදිසියේ මතක් වෙලා වගේ ඇහුවේ පිස්සුවෙන් වගේ කුස්සියේ එහේ මෙහේ දුවමින්.
"වරදක් නෑ"
"අද අර ළමයි දෙන්නත් රෑ කෑමට ඉඳීවි...බෝංචි උයනවද...පරිප්පු හදනවද? ම්ම්...ළමයෝ ඇඳුම් මාරු කරගෙන එන්නකෝ මේ පැත්තට. ව්‍යංජන හතරක්වත් උයන්න එපැයි" පුංචම්මා තමට කියා ගනිමින්ම මටත් නියෝගයක් නිකුත් කලා. මම ඒ අවසරෙන් කාමරේට දුවලා ගියා.
හවස හර්ෂි අක්කා එද්දි මම කට්ලට් හදන්න අල-සැමන් මිශ්‍රණේ ගුලි කරමිනුයි හිටියේ. සීයා පප්පයි, අයියලා දෙන්නයි කාඩ් සෙල්ලම් කරන අතරේ ආච්චි මම්මා ටීවී බලනවා.මට ඇහුණා හර්ෂි අක්කයි, ආච්චි මම්මයි හිනා වෙන සද්දේ. ටිකකින් අක්කා කුස්සියේ.
"අද කට්ටිය ගොඩක් ඇවිත් නේ. අපේ මනමාල මහත්තයා දැන් මෙහෙන් හෙලවෙන්නේ නෑනේ"
මම අක්කට ගස්සලා අහක බලා ගත්තා.
"අපෝ හරි වැඩේ"
"ඒක නෙවෙයි, කෝ අපර්ණා?" අක්කත් ඇහුවේ රහසින් වගේ.
පුංචම්මා ආයෙත් විස්තරේ කිව්වා.
"ඒක හොඳයි. නැත්තම් මෙතන ඉන්න හම්බවෙන එකක් නෑ සීයා පප්පාගෙන්"
"හර්ෂි...ඇඳුම් මාරු කරගෙන එන්න. ඉන්දි යන්න්කෝ ඉස්සරහට. අර ළමයා ඔයා එනකල් බලාගෙන් ඇති"
පුංචම්ම කිව්වා. අක්කා හිනා වෙනවා.
"අනේ...මට නම් බෑ පුංචම්මේ"
"එහෙම කියලා කොහොමද? එයා ආවේ මාව බලන්නයැ? ඔය වැඩේ ඉවර කරලා යන්න"
පුංචම්මා මාව ඉස්සරහට යවන්න  හදද්දි, ආච්චි මම්මා දෙතුන් පාරක්ම කුස්සියට එබුණෙත් මාව එහෙට ගෙන්න ගන්න. අන්තිමට වදෙන් පොරෙන් මම ඉස්සරහ සාලෙට ගියා.
සේරම කට්ටිය හිතලම මාව කලිඳු අයියා එක්ක තනි කරලා සාලෙ පැත්තකට ගියා.
"මං හවස ආවා, අම්මා ගන්නත් එක්ක ඒත් එතකොටත් ඔයා ගිහින්. කොහෙද ගියේ? ඇයි ගෙදර එන්න පරක්කු වුණේ?"
ඔහු ඇහුවාම මට ආවේ තරහක්. තව බඳින්න කැමැත්ත දීලත් නෑ, අහන දෙවල් විතරක්!
"කාලෙකට පස්සෙ නේ යාලුවෝ හම්බවුණේ, එයාලත් එක්ක නුවර ඇවිදින්න ගියා" මම ඕනවට එපාවට කිව්වා.
"එහෙමද? අම්මත් ඔයාව උදෙත් හෙව්වලු"
"ආ..මේ..යද්දි පරක්කු වුණා නේ"
"කමක් නෑ. දැන් ඉන්නවනේ" ඔහු කිව්වේ මගෙන් ඇස් ඉවතට නොගෙනම.
හොඳවෙලවට එවෙලෙම වගේ දොරේ සීනුව වැදුනා. කාටත් කලින් මම දුවලා ගියා දොර අරින්න. දොර ලඟ උන්නේ අපූර්ව. අතේ මලු ගොඩකුත් එල්ලගෙන. මම ඔහුට ලොකු හිනාවක් පෑවා.'දෙයියෝ එව්වා වගේ!'
"ඌප්ස්! මම වැරදිවෙලාවකද ආවේ?" ගෙට අඩියක් තියපු ඔහු ඇහුවා.
"නෑ. නෑ. එන්න එන්න" මම ඔහුව ඇතුලට ගත්තේ බලෙන්ම.
"හෙල්ලෝ පුතා..කම් කම්...අෆ්ටර් ලෝන්ග් ටයිම් නේ?" අපූර්ව දැකපු සියා පප්පා ඈත තියාම කෑ ගහපු නිසා මොනවත් විස්තර කියන්න මට ඉඩක් ලැබුණේ නෑ. අපූර්ව මලු සේරම මා අතට දීලා ඒ පැත්තට ගියා. කලිඳු අයියත් හොඳ වෙලාවට එතනට ගිහින්. මාත් අපූර්ව පස්සෙන්ම ඇදුනා.
"පුතා මේ ඉලන්දාරින්ව දන්නේ නෑනෙ. මේ ඩොක්ට වත්සල, මේ ඩොක්ට කලිඳු. කලිඳු තමා අපේ පැංචි බඳින්න ඉන්නේ" සීයා පප්ප බීලද මන්ද. ඒ කතාව අහපු අපූර්ව මගේ දිහා බලල ඇස් වලින් මට ඉඟි කලා. මම අහක බලා ගත්තා.
"ආ..ඇත්තද? නයිස් ටු මීට් යූ අයියා" අපූර්ව කලිඳුට අතට අත දෙද්දි සීතල වුණේ මං. මොනා වෙන්න යන්වද මන්දා.
"හෑව් අ සීට් සනා" සියා පප්පා අපූර්ව වත් වාඩිකොරෝ ගත්තා. මම ඒ අතරේ හෙමිහිට ලිස්සලා කුස්සිය දිහාට ආවා.
"කවුද ආවේ?" හිසත් අවුල් කරගෙන කට්ලස් බදිමින් උන්නු අක්ක ඇහුවා.
"අපූර්ව"
අක්කා ඇහුබැම උස්සලා මා දිහා බලුවා.
"කලිඳුව දැක්කද?"
"හ්ම්" මම් අහිස් වනුවා.
"මොකද කිව්වේ?"
"නයිස් ටු මීට් යූ කිව්වා" මම කිව්වෙ ඇඟටැ පතට නොදැනී.
"අපූ දන්නවද?" අක්ක ඇහුවේ තොල් වලින්, පුංචම්මට ඇහේවි කියලා. මම ආයෙත් හිස වැනුවා.
"හින්දි ෆිල්ම් එකක් වගේ" අක්ක තවත් කට්ලස් එකක් තෙලට දාමින් කිව්වා.
කෑම ටික හදල මේසෙට තියන්න යද්දිත් අපූර්ව කට්ටිය එක්ක කදේ දාගෙන සාලේ. ඒ පාර නම් මගේ හිත ගැහෙන්න ගත්තා. කට වැරදිලා මොනවා හරි කියවුනොත්?
"වත්සලයි, සියා පප්පයි නැටුම් තෙල් ගහලා වගේ" අක්කා මට රහසින් කිව්වා.
"ඇත්තද?"
"හ්ම්"

"අපූ කාලා යන්න ඉන්න පුතේ" කෑමට ආරාධනා කරද්දි පුංචම්ම අපූර්වට කිව්වා.
"අපෝ මෙයා කවද්ද අපේ ගෙදරින් කන්න හිටියේ?" අක්ක අපූර්වට ඇද කලා.
අපූර්ව අක්කා දිහා බැලුවා සරදම් ලීලාවෙන්.
"එහෙමද මං ගැන හිතං ඉන්නේ? ආන්ටි මටත් ප්ලේට් එකක් ගේන්න. අද මං කෑමට ඉන්නවා"
අපූර්ව කිව්වේ අක්කට ඇද කරලා.
"අනේ හොඳයි. අපටත් පිනක් නේ" අක්කා එහෙම කියලා නතර වුණා.
අමුත්තෝ කෑම ගනිද්දි මමයි , අක්කයි කෑවේ කුස්සියේ ඉඳන්. පුංචම්මා අපර්ණාට කෑම එකක් දෙන්න පිටිපස්සෙන් අපූර්වගේ ගෙදරට ගිහිනුයි හිටියේ.
"කවාලා..විලඳ ජාතී..." කෑම අරන් ටික වෙලාවකට පස්සේ අපට ඇහුණා සීයා පප්පා ගීතයක් කියන්න පටන් ගන්නවා.
"අද දොලහ වෙනකල් ඕක කියයි" එහෙම කිව්වේ කුස්සියට ආපු ආච්චි මම්මා. මම්යි, අක්කයි  සේරම වැඩ පැත්තක තියලා ඒ පැත්තට ගියා.
සේරම සාලේ රවුමට වාඩි වෙලා සීයා පප්පගේ ගීතෙට තාලේ අල්ලනවා, අත්පුඩි ගසමින්. අපූර්වයි , කලිඳු අයියයි එක ලඟ වාඩි වෙලා ඉන්නවා දැක්කම මට හීන් දෑඩියත් දැම්මා. පුලුවන් තරම් දෙන්න දිහාම නොබලා ඉන්නයි මම උත්සාහ කලේ.
"පුතේ...ඔය දෙන්නත් එන්න සිංදු කියන්න" සීයා පප්පා අපටත් කතා කලා. ගීත ගායනය කෙසේ වෙතත් අපි දෙන්න ඒ හරියෙන් ඉඳගත්තා.
සීයා පප්පා ගොඩක් කිව්වේ පරණ හැටේ, හැත්තෑවේ දශකයේ ගීත. පුදුමෙකට වගේ අපූර්වත් ඒ හැම එකක්ම වගේ දැනගෙන හිටියා.
"දැන් අපේ අපූර්ව පුතා කියන්න සිංදුවක්..." සීයා පප්පා කැස්සක් හැදෙනකල්ම ගීත ගායනා කරලා ඉවර වෙලා අපූර්වට කිව්වා.
"මම?"
"අනේ අපූ කියන්න කියන්න"
"මම දන්න නෑ"
"කියන්න මල්ලි" ඒ වත්සල අයියා.
අපූර්වගේ ඇස් නිමේෂයකට මං දිහාට යොමු වුණා.
"කියන්න" මමත් කිව්වා.
"ම්ම්...හරි...පුංචි කාලෙ අපි සිංදු කියපු හැටි පැංචියේ මට මතකයි...පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව ඉරහඳ වගේ මතකයි..."
අපූර්ව පටන් ගත්තේ මගේ දිහාම බලාගෙන. මම ඇස් ලොකු කර ගත්තා. අක්කා මගේ අත කෙනිත්තුවා. සීයා පප්පයි, වත්සල අයියයි උඩ පැනලා අත්පුඩි ගහන්න පටන් ගත්තා.
"හා..හා..ඉන්දුමතී උඹේ ලස්සන හැඩ රුව.." සීයා පප්පා තාලෙට ගායනා කරනවා, අපූර්ව එක්කම. අපූර්වට තිබ්බේ ලස්සන ගැඹුරු කට හඬක්. පැංචියේ කියන හැම පාරකම සීයා පප්පා මා දිහාට අත දික්කරලා, කලිඳු අයියා දිහා බලලයි ඒක කිව්වේ.
"නැන්දල, මාමල කදමලු බැඳගෙන එනවලු ලේලි බලන්...ඇවැස්ස නෑකම් කියාන ආදෙන් බහක් නොදී ඉඳපන්.." අපූර්ව ආයෙමත් මගේ ඇස් දිහා බලාගෙන හිනාවෙමින් ගායනා කරනවා. මටත් හොර හිනාවක් ගිය නිසා මම බිම බලා ගත්තා.
"හා..හා..බහක් නොදී ඉඳපන්.."අක්කා මගේ කනට කරලා කියනවා. අපූර්වට බයක් නැති හැටි. කලිඳු අයියා මොනවා කියනවද , කලාද කියල බලන්නවත් මම වෙහෙස වුණේ නෑ. මගේ අපූර්ව දැන් මගේ ලඟ.
"රංචු පිටින්  නුඹ කැන්දන් යන්නට ඒවි නොයා ඉඳපන්..." ඒ පාර අපූර්ව කිව්වේ මං දිහාට අතක් දික් කරලා. මට දැනුනේ ලැජ්ජාවක් එක්කම බයක්. මම අපූර්වගෙන් ඇස් මුදා ගෙන වත්සල අයියට හිනා වුණා.
"රංචු පිටින්  නුඹ කැන්දන් යන්නට ඒවි නොයා ඉඳපන්...මංගල මොහොතට තැලි පිලි අරගෙන ලඟදිම මං එන්නම්..මංගල මොහොතට තැලි පිලි අරගෙන ලඟදිම මං එන්නම්.."
ඒ පාර නම් මට අපූර්ව දිහා නොබලා බැරි වුණා. ගීතෙකට මුවා වෙලා හිතේ තියෙන සේරම හැමෝම ඉස්සරහ කියපු හැටි! ඔහු ගැන ආදරේ හිත උතුරන්න තරම් වැඩිවෙලා තිබුණා. ආයෙත් ඇස් වල කඳුලු. අපූර්ව මට හිනා වෙලා ඇස් දෙකින් මට කිව්වේ ආදරෙයි කියලද?
"කාලෙකට පස්සේ හොඳ ෆන් එකක් ගත්තා"
රෑ දහයට විතර ආපහු යන්න ලෑස්ති වුණ  වත්සල අයියා කිව්වාම අනික් අයත් එකඟ වුණා. අපූර්වත් ඒ අතර හිටියා. සීයා පප්පා පුටුවකට වෙලා නිදි කිරනවා.
"එහෙනම් අපි යනවා. මල්ලි පුතා අපි ගිහින් එන්නම්. ඔයා දක්ෂ ගායකයෙක් ඈ. දක්ෂ ගායකයෙක්.."
වත්සල අයියා එහෙම කිව්වෙ අපූර්වගේ පිටට තට්ටු කරන ගමන්. අපූර්ව හිනා වුණා.
කලිඳු අයියත් අපූර්වට සමු දුන්නේ සුහද විදියට. එවෙලේ නම් මගේ හද ගැස්ම ටිකක් විතර වැඩි වුණා.
"ගිහින් එන්නම් නංඟි. ගුඩ් නයිට්" කලිඳු අයියා මට කිව්වේ දයාබරව. මට නිරායාසයෙන්ම බැලුනේ ලඟ උන්න අපූර්ව දිහා. ඒ ඇස් අපි දිහා බලාගෙන ඉරිසියාවෙන් දිලිසෙනවා.
"ගුඩ් නයිට් අයියා" මම බිම බලාගෙන කිව්වා.
"මම ඔයාව ගෙදර එක්ක යන්න එන්නම්. අප්පච්චි මට කිව්වා එක්ක එන්න කියලා. යන දවසට කියන්න. අපි යනවා මල්ලි" ඔහු එහෙම කියලා යන්න ගියේ මම මුකුත් කියන්නත් කලින්.
මම අසරණව අපූර්ව දිහා බැලුවා. පුදුමෙකට ඔහු උන්නේ හිනා වෙලා.
"ඔයාව ගිහින් දාන්නේ මම, ඒ නිසා බය නැතුව ඉන්න" අපූර්ව මට කිව්වා.
"හ්ම්. අපර්ණා මොකෝ?" මම වට පිට බලලා ඇහුවා.
"මම එද්දි නම් මමාත් එක්ක හිටියා කුස්සියේ. අවුලක් නෑ. අපි එයාව බලා ගන්නම්"
මම මුකුත් නොකියා ඔහු දිහා ආදරෙන් බලාගෙන හිටියා.
"පුතාත් යන්නද?" ආච්චි මම්මා එතනට ආපු ගමන් ආදරේ කොහේදෝ නැතුව අතුරුදහන් වුණා.
"ගුඩ් නයිට් අපූර්ව" ඒ දෙන්නට කතා කර ගන්න දීලා මම කාමරේට එන්න ආවා.
පඩිපෙල ලඟදි හැරිලා බලද්දි අපූර්ව ආයෙම සැරයක් ඇස් උස්සලා මගේ දිහ බැලුවා.
මම ඔහුට හිනාවක් පාලා කාමරේට දුවගෙන ඇවිත් ඇඳට වැටුණා. අපූර්ව තමයි අපූර්ව...ඔහුගේ ගීතය මතක් වෙලා මට ආයෙත් හිනා පහල වුණා. අපූර්ව මගේ ලඟ ඉන්දැද්දි හිනා වෙන්න කොච්චර ලේසිද කියලා මට එවෙලේ හිතුණා.

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....