Thursday, October 20, 2011

තිස් හතරවන දිගහැරුම ඉතිරි කොටස


මං කලුවරේම කාමරෙන් එලියට දුවලා ආවත්, එකපාරටම කලුවරට ඇස් හුරු නූන නිසා මගේ හිසේ පැත්තක් වේගෙන් වැදුනා දොරේ උලුවස්සක. මට කෑ ගැහුණා ටිකක් හයියෙන්.
"මෙත්මා..." අපූර්වත් දුවගෙන ආවා.
ඒත් ආයෙමත් ඔහු මාව අල්ලගන්න කලින් මම මගේ කාමරෙට දුවලා ගිහිං දොර අගුලු දාලා වහ ගත්තා. හිස වැදුන තැන හුඟක් රිදුම් දුන්නා. හිත ඊටත් වඩා. ඒ වේදනාවල් සේරම ඉවසගන්න බැරිව මට ආයෙම ඇඬුණා හොඳටම. ඒ අස්සේ අපූර්ව දොරට තට්ටු කරනවා.
"මෙත්මා ප්ලීස් දොර අරින්න"
"ම්..හ්..ඉන්දි.." මට ඇහුණා හර්ෂි අක්කා නිදිමතේම මට කතා කරනවා.
මම නළල අතගාලා බැලුවා. වැදුණ තැන හොඳටම ගෙඩි ගැහිලා. මං ඇඳෙන් වාඩි වුණා. අක්කා පොරෝනය අයින් කරලා මගේ ලඟට ලං වුණා.
"මෙත්මා.." අපූර්ව ආයෙමත් කතා කරනවා.
හර්ෂි අක්කා දොර දිහා බලලා මගේ දිහා බැලුවා. ඒත් එයා තාමත් මගේ මූණ දැක්කේ නෑ.
"දැන්ද ඔය ආවේ?" අක්කා ඔරලෝසුවේ බල්බ් එක දල්වලා වෙලාව බලන ගමන් ඇහුවා.
"තුනයි කාලයි"
අපූර්ව ආයෙමත් දොරට තට්ටු කරනවා. අක්කා ඇඳෙන් නැගිට්ටා දොර ලඟට යන්න. ඒත් මම එයාගේ අතකින් අල්ල ගත්තා. "එපා"
ඒත් අක්කා මං කීවක් අහන්නේ නැතිව දොර ලඟට ගියා.
"අපූ...වෙලාව තුනත් පහු වෙලා. ප්ලීස් දැන් ගිහින් නිදා ගන්න. හෙට උදේට කතා කරන්න" අක්කා දොර නෑරම් කිව්වා.
"මට එයාව බලන්න දෙන්න" අපූර්ව කියනවා.
මම දොර ලඟට ගියා.
"අනේ අපූර්ව යන්න...මට මොනවත් වුණේ නෑ යන්න..."
මම ආයාචනා කලා.
අපූර්ව ගියාද, නැද්ද කියලා මම දන්නේ නෑ. ඒත් ඊට පස්සේ ඔහු ආයෙම කතා කලේ නැහැ.
අක්කා කාමරේ ලයිට් එක දැම්මා. අක්කගේ ඇස් එකපාරටම යොමු වුණේ මගේ නලල දිහාට.
"අනේ දෙයියනේ... මේ මොකද? ලේත් එනවා.."
එහෙම කිව්වාම මමත් බය වුණා. මම කණ්ණඩිය අසලට දිව්වා. නලල ගෙඩි ගැහිලා විතරක් නෙවෙයි, ටිකක් තුවාලත් වෙලා ලේ එනවා.
"කෝ මෙහේ එන්න" අක්කා මාව ඇදගෙන ගිහින් ඇඳේ වාඩි කෙරෙව්වා.
ඊට පස්සේ එයා ගිහිං මොන මොනවදෝ හොයලා ආයෙමත් මගේ ලඟට ආවේ පුළුන් කෑල්ලකුත් අරන්.
"ඌහ්..' අක්කා පුළුන් කෑල්ලෙන් නලල පිහිද්දි මම පිටිපස්සටවුණේ රිදුණ නිසා. මට ඒ පාර නම් කඳුළු ආවේ තුවාලේ රිදුන නිසයි.
"මොකද වුණේ? දෙන්නා යුද්ධයක් වත් කලාද?"
අක්කා තුවාලෙට පිඹින ගමන් ඇහුවා.මම මුකුත් නොකියා කොට්ටෙන් හිස තියා ගත්තා.
"කෝ...නිදාගෙන හරියන්නේ නා. ඕකට බෙහෙත් දාන්න වෙයි. බෙහෙත් තියෙනවද?" අක්කා ඇහුවා.
"බෙහෙත් ඕන නෑ අක්කා"
"හ්ම්...ඔලුව හොඳටම පැලිලා නම් නෑ. ඉතිං මට කියන්න මොකද වුණේ කියලා? මෙච්චර වෙලා යනකල් මොනවද කළේ?"
අක්කා ආයෙමත් මගේ නලල පරීක්ෂා කරලා  බලලා, මගෙන් ඇහුවේ එහා පැත්තේ කොට්ටෙට බර වෙන ගමන්. ආයෙමත් ඇස් වල කඳුළු. මේ කඳුළු කවදාවත් ඉතිං නම් නතර වෙන්නේ නැති වේවි. අක්කා මගේ දිහා බැලුවේ ටිකක් කලබල වෙලා.
"ඇයි ඉන්දි? මොකද වුණේ?"
මම ඇස් පියා ගත්තා. සමහරවිට මගේ උත්තරේ අක්කා තේරුම් ගන්න ඇති.
"නිදා ගන්න...අපි හෙට උදේට කතා කරමු"  ඒ නිසාදෝ එහෙම කියලා ඈ මගේ හිස අතගාන්න පටන් ගත්තා. මට කොයි වෙලාවේ නින්ද ගියාද කියලා මට මතකයක් නෑ.
"පැංචි තාමත් නිදිද?"
මොකක්දෝ හීනයක් දැක දැක උන්නු මම ඇහැරුණේ අම්මාගේ කට හඬට. මගේ නලල තාමත් රිදුම් දෙනවා ඇහැරෙද්දිම මට දැනුණා. මං ඉස්සෙල්ලම කලේ නලල අතගාලා බලපු එක.
"ඔලුවේ හිටං පොරවගෙන නිදි. යසයි. නවයත් පහු වෙලා"
අම්මා මම පොරවගෙන උන්නු පොරෝනය අයින් කලා. මාව දැකපු අම්මගෙත් අස් උඩ ගියා.
"මේ මොකද මේ? නලල තුවාල වෙලා. කෝ බලන්න" අම්මා මගේ ලාන්ගින් ඉඳගත්තා.
"ඒ මදිවට දොඩම් ගෙඩියක් තරම් ගෙඩි ගැහිලා. මොකද වුණේ?"
අම්මා නලල අල්ලන්න හදද්දි මම ඈත් වුණා.
"රිදෙනවා අම්මා"
"මොකද හර්ෂි වුණේ?"
අක්කා ඇඳ ලඟ හිටගෙන උන්නා හිනා වෙවී.
"අද පාන්දර ලයිට් ගිය වෙලාවේ නිදිමතේ පණ්ඩිතයා වගේ බාත් රූම් යන්න ගිහිං නේ ඔය. දොරේ ඔලුව වැදිලා. මමත් ඇහරුණා කෑ ගහපු සද්දෙට"
අම්මා යන්තමට හිනා වෙලා මං දිහා බැලුවා.
"උණු අලු ටිකකින් වත් තවන්න වෙයි. හ්ම්. දැන්වත් නැගිටින්න"
අම්මා මගේ ලඟින් මෑත් වුණා. මං බැලුවේ අක්කා දිහා. බොරු කියන ලස්සන ඇඟට පතට නොදැනී? මම ඇඳෙන් බහිද්දි මට මතක් වුණේ අපූර්ව. හිත ආයෙමත් ඇවිලුණා. 'අපි වෙන් වුණා නේද?'

"මොකෝ ලොකු අම්මේ ලොකු අප්පච්චි එක්ක නාවේ?" අක්කා පොරෝනා නවන ගමන් අහනවා. මට අප්පච්චි මතක්වුණේ එවෙලේ.
"ඔව් අම්මා, ඇයි ඒ?"
"දවල්ට ටිකට් කපනවා කිව්වේ. දොස්තරලට තව මොනාද බලන්න ඕන කියපු රිපෝර්ට්ස් වගයක් ලේට් කියලා"
අම්මා කාමරෙන් එළියට ගියා. මමත් ඒ පස්සෙන්ම ඇදුනා.
"මං අර පුතා එක්ක උදේ ගියේ" අම්මා තේ වත්කරන ගමන් කිව්වා. ඒ කිව්වේ අපූර්ව ගැන වෙන්න ඇති. මම වතුර වීදුරුවක් අරන් මුව සෝද ගත්තේ අපූර්ව මතක් වෙලා සැලෙණ හිතින්.
"උදේම යන්න ඕන කියලා අටේ බස් එකේ නැගලා නුවර ගියා ඒ ළමයා. කොහේද කන ලඟ බෙර ගැහුවත් ඇහැරෙන එකක්යැ. ගියා කියන්න කිව්වා"
අම්මා එහෙම කිව්වේ තේ එක මගේ අතට දෙන ගමන්. මට හුස්ම ගන්නත් අමතක වුණා තප්පරේකට. මම එහෙමම ගල් ගැහිලා බලන් ඉන්න ඇති මොහොතක්.
'අපූර්ව මට නොකියම මාව දාල ගිහිං?" ඒ සිතිවිල්ල මගේ හිත ඇතුලේ දෝංකාර දුන්නා. මං සාලෙට ඇවිදගෙන ආවේ හීනෙන් වගේ. අම්මා තවත් මොන මොනාදෝ කියනවා. ඒත් මගේ කන් දෙකම ඝෝෂාවකින් පිරිලා. මට මුකුත්ම ඇහුණේ නෑ. හිස පුපුරන්න වගේ රිදෙන්න ගත්තා. හර්ෂි අක්කා මගේ ඉස්සරහට ඇවිදගෙන එනවා මට පෙනුනේ ඇද වෙවී. එකපාරටම හාත්පසම කලුවර වුණා. "සලාං" හඬින් මොකක්දෝ බිඳෙනවා ඇහුන බව විතරක් මට මතක තිබුණා යාන්තමට. "අම්මා"
ඇඟට දැනුන අමුතු සිසිලසකුත් එක්ක මම පියවි සිහියට ආවේ කාගෙදෝ අතක සීතල පහස මූණට දැනෙද්දි. කීප සැරයක් ඇසිපිය ගහලා මම යන්තම් ඇස් ඇර ගත්තා. මට පෙනුනා මගේ මූණට උඩින් ගෙදර උන්නු සේරම අය මං දිහාට එබිලා ඉන්නවා වටේම ඉඳන්. මට එක පාරතම මතක් වුණා සාලෙදි වුණ සිද්ධිය.
"මට...මොකද වුණේ?"
අම්මා හිටියේ මූණ රතු කරගෙන. මම නැගිටින්න උත්සාහ කලා.
"ඔහොම ඉන්නකෝ තව ටිකක්" අම්මා මාව නැවැත්තුවා.
මාව සාලේ සැටිය උඩ දිගා කරවලයි තිබුණේ. මගේ හිතට ආයෙම ආවේ අපූර්ව. ඔහු ගිය බව අම්මා මට කිව්වේ ඇත්තටමද?
"මොක්ද මේ හිටි ගමන් කලන්තේ හැදුනේ?" සීයා පප්පා එහෙම ඇහුවේ කාගෙන් හරි උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"ඊයේ තදින් ඔලුව වැදුන නිසා වෙන්න ඇති" හර්ෂි අක්කා උත්තර දුන්නා.
"ඒ මක් වෙලාද?"
හර්ෂි අක්කා වුන දේ පැහැදිලි කරන අතරේ මම කල්පනාවට වැටුණා. 'එතකොට මට කලන්තේ හැදිලද? එහෙම වුණේ අපූර්ව ගැන සිද්ධිය මට දරා ගන්න බැරි නිසාද? මගේ ඇස් ආයෙමත් කඳුළු වලින් බර වුණා. අපූර්ව මාව දාලා ගියේ ඇයි, මේ වගේ නොකියම?'
"කරදර එද්දි එක පිට එක එන්නේ. ලොකු පුතා හොඳ වුණා විතරයි" සීයා පප්පා විස්සෝප වෙනවා.
"මේ දවස් ටිකේම හරියට කෑමකුත් නෑනෙ කෙල්ලට"
අම්මා කිව්වා. මම ඈව බදාගෙන උරහිසේ මූණ ඔබා ගත්තා. අපූර්ව මතක් වෙවී මට හොඳටම ඇඬුණා.
"මෙන්න මේ ලමයා අඬනවා. බය වෙන්න දෙයක් නෑ පුතේ. නිකං කලන්තයක් විතරයි. කෝ ඉතිං අඬන්න එපා"
අම්මා මගේ හිස අතගෑවා. අම්මා හිතන්නේ මම අඬන්නේ ඒ නිසා කියලයි. ඒත් මම අඬන්නේ මොකටද කියලා ඇත්තටම දැනං හිටියේ මම විතරමයි.
"මීට කලින් හැදිලා නැති නිසා බය වෙලා ඇති. කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් නරකද?"
ආච්චි මම්මා අම්මට කියනවා මට ඇහුණා.
"ඔව්. එහෙම කරනෙක හොඳයි"

1 comment:

  1. අපු ආයෙත් එන්නෙ නැද්ද මේ දෙන්නගෙ ආදරේ ජය ගන්නවද :-(

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....