Tuesday, October 18, 2011

තිස් වෙනි දිගහැරුම


මම පහුවදා උදේ නැගිටිද්දි අපූර්ව නැගිටලා කෑම කාමරේ තේ බොමිනුයි උන්නේ.
"ඕන් පේනවා නෙද ගෑනු ළම්යෙක් නැගිටින වෙලාව?" ආච්චි මම්මා කිව්වා අපූර්වට.
අම්මයි නංඟියි පේන්න හිටියේ නැහැ. තේ බොමින් උන්නේ අපූර්ව විතරයි.
ඔහුඅ මා දිහා බලලා හිනා වුණා. මම මේසය මත තිබ්බ තේ එකක් අරගෙන මේසේ අසලින් වාඩි වුණා.
"මට ඊයේ රෑ නින්ද ගියෙම නෑ" මම කිව්වේ ආච්චි මම්මා කුස්සියට ගිය වෙලාවෙ.
"මටත් නින්ද ගියේ නෑ" අපූර්වත් කිව්වා.
"මෙහේ පුරුදු නැති නිසා වෙන්න ඇති" මම කිව්වා.
අපූර්ව මුකුත්ම කිව්වේ නෑ, කතා නතිවම තේ එක බිව්වා මිසක.
 අපි උදේ කෑම කාලා අප්පච්චි බලන්න යන්න පිටත් වුනා. සීයා පප්පා වයි. එම්. බී. ඒ. ශාලාව තිබුණ තැනින් ජීප් එක උඩට හැරෙව්වා. දකුණු පැත්තේ තිබ්බේ කාගිල්ස් ෆුඩ් සිටි එක.
"අප්පච්චි එහා පැත්තේ පාරෙන් කෙලින්ම යතෑකි නේ හොස්පිටල් එකට?"
අම්මා සීයා පප්පට එහෙම කිව්වා.
"ඕන් බලමුකෝ මගේ කල්පනාවක හැටි? ඊයෙත් මේ පාරෙන්ම ගිය නිසා අද පුරුද්දතම හැරවුණා. කමක් නෑ දැන් ඉතිං යමු"
ඊට පස්සෙ හමබවුන තුංමං හන්දියෙන් හරවලා සීය ශාන්ත සේවියර් විද්‍යාලය පැත්තට වාහනේ හැරෙව්වා.
"අර මෙහේ චර්ච් එකද?" අපූර්ව ඇහුවේ ශාන්ත සේවියර් දේවස්ථානය පෙන්නලා.
"ඔව්, එක සේන්ට්. සේවියර් චර්ච් එක"
විද්‍යාලය ලඟින් උදට හරවලා උඩට ගමන් කලාම තමයි අප්පච්චි නවත්තලා උන්නු පෞද්ගලික රෝහල හම්බවුණේ. සීයා පප්පා ගේට්ටුවෙන් වාහනේ ඇතුලට දැම්මා. අපි එතනින් බැහැලා රෝහල ඇතුලට ගියා.
විමසීම් කවුන්ටරය ලඟ උන්නු හෙදිය අපේ අම්මව දැක්ක ගමන් අඳුන ගත්තා.
"ආ...ගුඩ් මෝනින්ග් මිසිස් ජයමාන්න. අද අමුත්තෝ තව ටිකක් වැඩි වෙලා වගෙ. මේ දැනුයි  හය දෙනෙක් විතර ඇවිත් ගියේ මිස්ට ජයමාන්නව බලන්න. මේ දුව වෙන්න ඇති?"
හෙදිය ඇහුවේ මා දිහා බලලා.
"ඔව්. මේ දෙවනි දුව"
"මිස්ට ජයමාන්න නිතරම අහන්නේ මෙයා ගැනද?"
හෙදිය ඇහුවාම මට අහේතුකවම බැලුණේ අපූර්ව දිහා. ඔහු මා දිහා එක පාරක් බලලා අහක බලා ගත්තා. අම්මා මොනවදෝ කියනවා මට ලාවට ඇහුණා.
"එන්න යමු" සීයා පප්පා කතා කලා.
අප්පච්චි උන්නු පුංචි කාමරෙට මම ඇතුල් වුනේ අන්තිමට. හිතේ තිබ්බේ දෙගිඩියාවක්. අපූර්වත් මගේ ලඟින්ම වගේ හිටගෙන හිටියා. අප්පච්චි දැකපු ගමන් මගේ දෙකකුල් උන් තැනම නැවතුණා. අප්පච්චිගේ හිස අද්දර සේලයින් බෝතලයක් එල්ලපු ආධාරකයක්. ඇඳ ලඟම ඔක්සිජන්  සිලින්ඩරයක්.එහා පැත්තේ තිබුන මේසේ මත බෙහෙත් බෝතල් ගොඩක්. සද්දන්තයෙක් වගේ උන්නු මගේ අප්පච්චි අද අසරණව ඇඳක වැතිරිලා. වම් අතේ පිටි අල්ලේ සේලයින් කටුව ගහලා. අප්පච්චි ඇවිත් උන්නු කීප දෙනෙක්ට ඇහුම්කන් දෙමිනුයි උන්නේ. මගේ හිතට දැනුනේ ලොකු කම්පනයක් එක්ක, කියාගන්න බැරි විදිහේ දුකක්. මම අපූර්වගේ අත  හීනියට අල්ලාගත්තා. ඉස්සර අපට උණක්, හෙම්බිරිස්සාවක් හැදුනත් අම්මට වඩා වද වෙන්නේ අප්පච්චි. පෙති ගිල්ලන්න, සිද්ධාලේප ගන්න, හුමාලේ අල්ලන්න වගේ දහසකුත් දෙවල් කරන්න අම්මට උපදෙස් දීලයි අප්පච්චි ගෙදරින් යන්නේ. විශේෂයෙන්ම අයියට අසනීප වුණ දවසට අනිවාර්යෙන්ම දොස්තර කෙනෙක් ගෙදර ඇති. ඒත් අද අප්පච්චිට අසනීප වුන වෙලේ අපි කවුරුත්ම ලඟ නැති වුණා නේද කියලා හිතද්දි මට ඇඬුම් එන එක වලක්වාගන්න මට බැරි වුණා. ඇස් වලට කඳුළු පිරුණේ ඇසිල්ලකින්.
"පැංචි"
අප්පච්චි බලන්න ආපු අනික් අය ගියාම අප්පච්චි මට කතා කලා. අපූර්ව මගේ ලඟින් ඈත් වෙනවා මට දැනුණා. අප්පච්චිගේ හඬ දුර්වලයි. වෙනදට මුලු ගෙදරම දෙදරන්න තරම් හඬක් තිබ්බ මගේ අප්පච්චි. මං දුවලා ගිහින් අප්පච්චිගේ පපුව මතින් හිස තියාගත්තා. මත ඉකි ගැහුණා, ඊට වඩා ඇඬුම් ඉවසන් ඉන්න මට පුළුවන් වුණේ නෑ.
"මගේ අප්පච්චිට මොකද වුණේ?"
අප්පච්චිගේ ලොකු අතක් මගේ හිස මට රැඳුනා. අප්පච්චිගේ හදවත ගැහෙන සරය මම අහගෙන හිටියා.
"මට දැන් අමාරුවක් නෑ පුතේ. හොඳ කෙල්ල වගේ නාඩා ඉන්න දැන්"
අප්පච්චි මට කිව්වා.
"නෑ. නෑ. එහෙනම් තාමත් ගෙදර එන්න බැරි ඇයි?"
මම උන්නේ අඬමින්මයි. අම්මා ඇවිත් මාව නැගිට්ටෙව්වේ මේ වෙලාවේ. අප්පච්චිගේ සුදු බැනියමේ පපුව මත ලොකු කඳුළු පැල්ලමක්. ඒ මගේ කඳුළු. මම උන්නේ තාමත් අඬමින්.
"අඬන්නෙපා...අප්පච්චිට දුක හිතෙයි"
අම්මා රහසින් මට කිව්වත්, අච්චර හොඳට හිටපු අප්පච්චි අද මෙහෙම ඉද්දි මම නාඬා ඉන්නේ කොහොමද?
"පැංචි නුවර ඉඳන් තනියෙම ද ආවේ?" අප්පච්චි අහනවා.
"නෑ. හර්ෂියි, මිස්ට ලිවේරගේ පුතයි එක්ක" උත්තර දුන්නේ අම්මා.
අප්පච්චි කාමරේ සිසාර බැලුවා.
"හර්ෂිත් ආවද?"
හර්ෂි අක්කා ඇඳ අසලට ලං වුනා.
"ලොකුඅප්පච්චි"
"අම්මා ආවේ නැද්ද?"
අක්කා උත්තර දෙන්න කල් ගත්තා.
"නෑ...මේ ගෙදර කවුරුත් නැති නිසා එන්න විදියක් තිබ්බේ නෑ. දැන් ලොකුඅප්පච්චිට හොඳයි නේද?"
"ඔව්. ඊයෙ ට වඩා නම් හොඳයි වගේ. අර ඔක්සිජන් කෙහෙල්මල ගැලෙව්වා යන්තං. දුවලා සේරම ආපු නිසා මට ඉතිං හොඳටම සනීපයි තමා"
හර්ෂි අක්කා හිනා වුණා. "ඉක්මණට ගෙදර යන්න පුළුවන් වෙයි"
මගේ කඳුළු වේලිලා තිබුණා.
"බට්ටි ඉස්කෝලෙ ගියාද?"
අප්පච්චි අම්මා දිහාට හැරුණා.
"ඔව්. හවසට එක්කං එන්නම්"
"අම්මා ආවේ නැද්ද?"
"නෑ. අප්පච්චි විතරයි ආවේ"
අප්පච්චිගේ ඇස් ආයෙම රැඳුනේ මං ලඟ. මම අප්පච්චිගේ අතක් අල්ලගත්තා.
" මගේ හොඳ කෙල්ල. මාව හොඳ කරන්න දුවගේ එක හිනාවක් ඇති, බට්ටිගේ එක හුරතල් වචනයක් ඇති. මට ඔය දෙන්නා විතරක් ඇති දුවේ"
අප්පච්චි හදන්නේ ආයෙම පරන කතා අදින්න.
"ඇති. අප්පච්චිට වැඩිය කතා කරන්න හොඳ නෑ. සනීප වෙලා ගෙදර ආවාම අපි කතා කරමු වරුවක්ම. දැන් අප්පච්චි වීවේක ගන්නකෝ"
මම කිව්වා.
අප්පච්චි යන්තම් හිනා වුණා. ඊට පස්සේ මම අම්මට කතා කරන්න ඉඩ දීලා මං පස්සට වුණා.

"ඉක්මණට සනීප වෙලා ගෙදර එන්න අප්පච්චි"
ආපහු පිටත් වෙලා එන්න කලින් මම අප්පච්චිගේ නලල ඉඹලා කිව්වා. ඊට පස්සේ මම ඉක්මණට එලියට දුවලා ආවේ ආයෙමත් කඳුළු පිට පැන්න නිසා.
'මිස්ට ජයමාන්නගේ හාට් එක තරමක් දුර්වලයි. මේ වගේ හාට් ඇටෑක් එකක් හැදෙන එක නම් ටිකක් භයානකයි. වැඩිය මානසික බලපෑම් ඇති වෙන්න දෙන්න එපා. කෑම ගැන නම් ඉතිං කියන්න ඕන නෑනෙ. හිත සතුටින් තියන්න බලන්න. කියන්න කණගාටුයි,  ඒත් ආයෙමත් මේ වගේ දරුණු විදියට ඇටෑක් එකක් ආවොත් නම් අපට කරන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ"
අප්පච්චිව බලපු වෛද්‍යවරයා කිව්වේ එහෙමයි.
අම්මා හීල්ලුවා. මගේ හිතත් නොසන්සුන් වුණා. සියා පප්පා ජීප් එක ගන්නකල් අපි එලියට ආවා.
"නෝනා" එක පාරටම අපේ ගෙදර වැඩට උන්නු මල්ලිකා නැන්දා ඉද්ද ගැහුවා වගේ නතර වුණේ ඇස් දෙකත් ලොකු කරගෙන. අපි ගේට්ටුව දිහා බැලුවා. මමයි, අක්කයි මූණෙන් මූණ බලාගත්තේ එතැනින් මෑත් වුණ දෙන්නා දැකලා.
"අයියයි, අපර්ණයි!"
අම්මා ඒ දෙන්න දිහා මොහොතක් ඇසි පිය නොගහා බලාගෙන උන්නා.
අයියා අපි ලඟට ආවේ හිස පාත් කරගෙන. අපර්ණා අයියට පස්සෙන් හැංඟිලා වගේ ආවා. මම ඉබේම අපූර්ව ලඟට ලං වුණේ ගැහෙන හිතින්. ඔහුත් මේ සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියල හිතා ගන්න බැරිව බලාගෙන උන්නේ අන්ද මන්ද වෙලා. අයියා අපට අඩි කීපයක් දුරින් නතර වෙලා හිස උස්සලා අම්මා දිහා බලුවා.
"මොකටද දැන්ම ආවේ? අප්පච්චි තාම මැරුණේ නෑ"
අම්මා එක පාරටම තරහ පිරුන හඬින් කෑ ගැහුවාම මම ගැස්සුනා. මම ඉස්සරහට පැනලා අම්මගේ අතකින් අල්ලගත්තා තද කරලා.
"අනේ අම්මා...කෑගහන්න එපා"
අයියා අම්මා දිහා බලාගෙන උන්නේ දෑසම විසල් කර ගෙන. ඒ මූණේ තිබ්බේ පරාජිතභාවයක්.
"අම්මා මට ඕන දෙයක් කියන්න, මත අහගෙන ඉන්න පුළුවන්. ඒත් මට අප්පච්චිව බලන්න දෙන්න"
අම්මා මගේ අත ගසා දාලා, බයෙන් මිරිකිලා අයියා පස්සේ උන්නු අපර්නා ලඟට ගියා.
" උඹ මගේ පුතාව උදුර ගත්තා මදිවට දැන් ආවද මගේ මිනිහගේ ජීවිතෙත් උදුරගන්න? හැතිරි...උඹ හින්දයි මේ සේරම. පලයල්ලා යන්න මගේ දෑහැට නොපෙනී"
අම්මගේ කිව්වේ හෙමින් වුනත් ඒ හඬේ තරහා, වෛරය, දුක ඕනවටත් වඩා තිබුණා.හර්ෂි අක්කා ගිහින් අම්මව වත්තන් කර ගත්තා.
"සුදීප දැන් මෙතනින් යන්න. අප්පච්චිට දැන් හොඳයි. අනේ කරුනාකරලා දෙන්නම යන්න. මෙතන තවත් මොනවාහරි සිද්ධවෙන්න කලින්"
අයියා අම්මා දිහා බලාගෙන උන්නේ අසරණව. අපර්නා හොඳටම අඬනවා. මට වාවගන්න බැරි වුනේ එකම දෙයයි. ඒ මගේ අයියාගේ ඇස් වල කඳුළු. මම මගේ ලඟ උන්නු අපූර්වගේ අතක එල්ලුනා. අපූර්ව තාමත් උන්නේ අන්ද මන්ද වෙලා. සීයා පප්පා වාහනේ හරවගෙන ඇවිත් තිබුණා. ඒත් ඔහු අයියා දිහා හැරිලාවත් බැලුවේ නෑ.
"අප්පච්චිගේ මේ තත්වෙට වග කියන්න ඕන උඹ, උඹ මට අකීකරු වුණාට සමාව දුන්නත්, ඒකට නම් කවදාවත් මගෙන් සමාවක් බලාපොරොත්තු වෙන්න එපා පුතේ. මින් මත්තට ආයේ මෙහේ නාවට කමක් නෑ. උඹට මෙහේ කවුරුවත් නෑ. උඹට මේ අද ඊයේ හම්බවුණ ගෑණියෙක් නිසා තමන්ගේ අම්මා අප්පා අමතක කරන්න පුලුවන් වුණා නං, මටත් පුළුවන් උඹව අමතක කරන්න. අපි පරම්පරා ගාණක් ආරක්ෂා කරපු නම්බුව වෙනුවෙන්, මගේ මිනිහා වෙනුවෙන්, අන්න ඒක්ත් මතක තියා ගනිං.
අම්මා අවසානෙට එහෙම කියලා ජීප් එකට නැග්ගා. ඊලඟට හර්ෂි අක්කයි, මල්ලිකා නැන්දයි නැග ගත්තා. මම හෙමිහිට අයියා ලඟට ඇවිදගෙන ගියා.
"ඇයි අයියේ අපට මෙහෙම වුණේ?"
අයියගේ නිදි මරපු නිසාදෝ යට ගිලුණ ඇස්, ඇදිලා ගිය මූණ, ඒ මූණේ තිබ්බ පරාජිත භාවය මගේ හිතට එකතු කලේ තවත් දුකක්.
"මෙත්මා...නගිනවා ඇවිත් ජීප් එකට"
සීයා පප්පාගේ විධානාත්මක හඬට මං හැරිලා බැලුවා. අපර්ණා තාමත් අඬනවා.
"ගිහිං එන්නම් අයියා. මට රෑට කතා කරන්න. මොනා වුනත් මම  ඔයාගේ නංඟිමයි,  තාමත්..."
මම කම්මුලට වැටුණ කඳුලක් පිහදාගෙන දුවලා ගිහිං ජීප් එකට නැග්ගා. අපූර්ව නැග්ගේ ඊට පස්සේ. දූවිලි අවුස්සගෙන ජීප් එක ගේට්ටුවෙන් එලියට ආවා. මා පිටිපස්ස හැරිලා බලද්දි අයියා අපි යන දිහා බලාගෙන උන්නු හැටි මට පෙනුනා. තමන්ගෙම අය ඉන්දැද්දිත් මගේ අයියට කොච්චර අසරණ වෙන්න වෙලාද?  මගේ උගුර රිදුම් දුන්නා. දිග හුස්මක් අරන් මම නාඬා ඉන්න උත්සාහ කලා.
ඉස්සර හිනාවෙන් පිරිලා, ඉතිරිලා, සැනසීම සතුත දෝරේ ගලමින් තිබුන අපේ ගෙදර අද පාළු මල සොහොනක් ගානයි. සීයා පප්පයි, ආච්චි මම්මයි ඒ අයගේ කාමරේ. අම්මා උදේ ඉස්කෝලේ ගිහිං ආපු වෙලේ ඉඳලා අම්මලගේ කාමරේ. නංඟියි, හර්ෂි අක්කයි,අපූර්වයි නම් එලියේ සෙල්ලම් කරනවද කොහේද. මම උන්නේ සාලේ. මගේම ගෙදර මම තනි වෙලා කියලා මට හිතුණා. අපි හැමෝම  හුඟක් සතුටින් උන්නේ අයියා ඉද්දි. අප්පච්චි ගෙදර නේන ද්වස් වල හැමෝම මොන තරම් නං පිස්සු නටනවද? ඉරිදා දවසට කෑම උයන්නේ, අයියයි, සීයා පප්පයි, මායි. නංඟි දහම් පාසල් යනවා. අම්මයි, ආච්චි මම්මයි ගෙදර අනික් වැඩ. අප්පච්චි ආවාම නම් හැමෝම හිමිච්චෝ වගේ. මටයි, නංඟිටයි එලිපිටම ආදරේ කලත් අප්පච්චි අයියට ආදරේ කලේ හිතින්. ඒක මහා හුඟක් වග මම දැනගෙන හිටියා. සේරම ආදරේ කරපු අයියා අද සේරටම එපා වෙලා. ඒක කාගේ වැරැද්දද? තමන් ආදරේ කරන කෙල්ලෙක් බාර ගත්ත අයියගෙද, නැත්නම් තාමත් කුල මල භේද හොයන අපේ දෙමව්පියන්ගෙද? මට හිතා ගන්න බෑ.

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....