Wednesday, November 16, 2011

හැට හය වෙනි දිගහැරුම

අපි ආයෙම නුවර එලියේ ආවා, සුපිපි බබාත් අරගෙනම. අයියට සනීප වෙනකල් අපේ ගෙදර ඉන්න කියලා අප්පච්චි කිව්වා. ඒ අතරේ අයියා හද හද උන්නු ගෙදර ආයෙම වැඩ පටන් ගත්තා. තාමත් අපර්ණා අප්පච්චිට හරියට මූන දුන්නේ නෑ. අප්පච්චි එද්දි අහලක වත් හිටියෙත් නෑ. ඒත් අම්මා ක්ක නම් මටත් වඩා හිතවත් වුණ ගාණයි. ගෙදර ප්‍රශ්ණ මේ විදියට ඉවර වෙච්ච එක ගැන හිතේ තිබ්බේ සැනසීමක්. එදායින් පස්සේ මට අපූර්ව ගැන කිසිම ආරංචියක් ලැබුණේ නෑ. මම අමාරුවෙන් ඔහු ගැන සිතිවිලි යටපත් කරන්ගෙන ඉන්න උත්සාහ කලා.
සිංහල අවුරුද්ද ලං වෙද්දි අයියගේ කකුල ගොඩාක් දුරට සනීප වෙලයි තිබුණේ. කිහිලි කරුව නැතිව ටික දුරක් ඇවිදින්න ඔහුට පුළුවන් වුණා. අපේ ගෙදර අය ගජරාමෙ අවුරුදු කන්න ලෑස්ති වුණා, හැමදාම වගේ. අවුරුදු දවසට දවස් කීපෙකට කලින් ඉඳලම ගෙදර කැවිලි හදන, පිටි කොටන, දොදොල් හැඳිගාන කට්ටිය ගොඩයි. ඒ අස්සේ සුපිපි බබාගේ හුරතල්. මේ සේරම නිසා තරමක් දුරට මගේ හිත සුව වීගෙන ආවා.
ගෙදර අලුතින් තීන්ත ගාන දවසේ මමයි, බට්ටියිත් එකතු වුණා ජොලියට වගේ තීන්ත ගාන්න. අපි  සාලේ පැත්තක තීන්ත ගගා ඉද්දි අප්පච්චි අපි ලඟට ආවේ හිනා වෙවී.
"බාස්ලා මදිවට මෙතන මකබාස් ලා දෙන්නෙකුත් ඇවිල්ලානේ. ආයෙත් තීන්ත ගාන්න වෙයි වගේ විජේ මේ පැත්තේ" අප්පච්චි කිව්වේ තීන්ත බාස් වෙච්ච විජේදාස සීයට. ඔහු  හිනා වුණා විතරයි.
"අනේ...නිකං ඉන්න අප්පච්චි අපි හොඳට ගෑවා, නේද අක්කා" බට්ටි කිව්වා.
මම අප්පච්චිට හිනා වුණා.
"හ්ම්. හ්ම්. ඔයාලගේ ගෙදර වෙච්චි මට මොකෝ" අප්පච්චි කිව්වා.
"පැංචි එන්නකෝ පොඩිත්තක් මෙහාට" ඊට පස්සේ අප්පච්චි මට කතා කලා.
"ඇයි අප්පච්චි?" මම ඔහු එක්ක එලිපත්තට ආවා.
"අවුරුද්දත් ලඟ එනවනේ, පුතාට මොනවද මගෙන් ඕන මේ පාර?"
ඒ අප්පච්චිගේ සිරිත. හැමදාම වුරුද්දට අප්පච්චි අපෙන් අහලා අපට ඕන දෙවල් තමා අරන් දුන්නේ.
"අනේ මන්ද....වෙනදා ඒවම හොඳයි...අප්පච්චිට මොනවද මගෙන් ඕන?" මම ඇහුවා.
මම ඉතින් තෑගි දුන්නේ අප්පච්චිගේ සල්ලි වලින්ම තමා. ඒත් ගිය අවුරුද්දේ මම අප්පච්චිට මගේ පොඩි වත්තෙන් පලතුරු කූඩයක් දුන්නා. අප්පච්චි ඒක හරියට අගය කලා මට මතකයි.
"මට මගේ පැංචිව ආපහු දෙන්න..." අප්පච්චි කිව්වම මම එක පාරටම පුදුම වුණා.
"මම කාලෙකට කලින් එයාව නැති කර ගත්තා. මට ආයෙත් එයාව හොයලා දෙන්න පුතේ"
අප්පච්චි කිව්වාම, මට දැනුනේ දුකක්. මම කොයි තරම් ඒ අයගෙන් ඈත් වෙලා ඉන්න ඇතිද, ඒක මොන තරම් අප්පච්චිට දැනිලද කියලා  මට තේරුණේ එවෙලේ. මම එහෙමම අප්පච්චිට තුරුල් වුණා.
"මට සමාවෙන්න අප්පච්චි"
"සමාව දෙන්න දෙයක් ඔයා කරලා නෑ. මට ඕන ඔයා සතුටින් ඉන්නවා බලන්න. අපි හැමදේම කලේ ඒකට. ඉදිරියටත් එහෙමයි"
කොහොමින්, කොහොමින් හරි අවුරුදු දවසත් උදා වුණා. ලිප් නිවලා, වැඩ ඉවර කරලා අපි ලෑස්ති වුණේ පන්සල් යන්න හැමදාම වගේ.
එදා වැඩ අල්ලන්න යෙදිලා තිබ්බේ හවස හයකුත් ගාණට. ඒ කාලේ ඉඳන්ම මේ දවසට මම ගොඩක් ආස කලා. එදාට අම්මා. අප්පච්චි, මේ හැමෝම ගෙදර. කරන්න වැඩකුත් නෑ. ඒත් ඒ වෙලාවට කරන්න ඕනතරම් වැඩ මතක් වෙනවා. අපි කරන්නේ වරුවක්ම පයින් පන්සල් ගිහින් එන එක. ඒත් අද සුපිපි යන නිසා අපිටත් යන්න වුණේ වාහන වල.
"මේක තමා මගේ ජීවිතේ හොඳම අවුරුද්ද..." අපර්ණා මට කිව්වේ හැඟිම්බරව.
"ඔයා හරි ලකී අක්කා...ඔයාට ඔයා ආදරේ කරපු හැමදේම ලැබුණා, අන්තිමට හරි..."
මම කිව්වාම අපර්ණා මා දිහා බැලුවේ දුකෙන් වගේ.
"කලිඳු ඔයාට ගොක් ආදරේ කරයි" ඈ කිව්වා.
"කලිඳුයි, මායි අතරේ එහෙම දෙයක් වෙන්නේ නෑ අක්කා. මම එයාට අපූර්ව ගැන කිව්වා"
"මොනවා, ඔය ඇත්තමද?"
"ඔව්"
"එහෙනම් ඇයි ඔයා අපූර්වට් ක නොකිව්වේයි ඔයා එයාට යන්න දීලා බලන් ඉන්නේ?" අපර්ණා අක්ක හුවේ රහසින් වුණත් ඒ හඬේ තිබ්බේ ලොකු පුදුමයක්.
"මම අපූර්වට ආදරේ නිසා...ඒ වගේම මම අප්පච්චිටත් ආදරේ නිසා"
අපර්ණා අක්කා මා දිහා බලාගෙන ඉඳලා සුසුමක් හෙලුවා.
"මට ඔය දෙන්න ගැන හරිම දුකයි නංඟි. අපූර්ව කියන්නේ නමේ හැටියටම ගොක් අපූරු කොල්ලෙක්"
"දැන් ඕවා හිතලා වැඩක් නෑ"
ඊට පස්සේ අපර්ණා අක්කා අපූර්ව ගැන කතා කලේ නෑ.
පන්සලට ගිහින් , මල් පහන් පුදා මම ප්‍රර්ථනා කලේ කොහේ හිටියත් මගේ අපූර්වට හොඳින් ඉන්න ලැබෙන්න කියලා.

ලිප ගිනි දල්වන නැකත ලං වෙද්දි, අයියයි, බට්ටියි, පොඩි ළමයි දෙන්නෙක් වගේ රතිඤ්ඤා පත්තු කරන්න දඟලනවා.
"ඔය ළමයව ඈතට අරන් යන්න දුවේ..බය වෙයි" සද්දේ මොකක්ද බලන්න ආපු අපර්ණට ආච්චි මම්මා කිව්වා.
"ජයේ වෙලාව බලන්න" අම්මා කුසියේ ඉඳන් කෑ ගහනවා.
"අප්පච්චි වෙලාව බලන්නලූ.." මම  කුස්සියයි සාලෙයි අතරේ ඉඳන් දෙපැත්තට පණීවිඩ කියනවා.
"හරි, තව විනාඩියයි..."
"තප්පර දහයයි, නවයයි...තුනයි, දෙකයි..එකායි..."
අම්මා ගිනි මෙලෙව්වද කොහෙද. අපි ඔක්කොම ඒක බලන්න කුස්සියට දිව්වා.
නැකත උදා වෙද්දි මුලු පලාතම රතිඤ්ඤා හඬින් ගිගුම් දුන්නා. අපි පත්තර කොල කිලෝ එකක් විතර දල්වලා යන්තම් කිරි මුට්ටිය උතුරව ගත්තා.
සීයා පප්පා හැමදාම වගේ ලොකු කිරිබත් පිඟානක් අරගෙන අපි හැමෝටම කිරිබත් කැව්වා. ඊට පස්සේ උදා වුණේ ගනුදෙනු කරන වෙලාව.
ඳින කලබලේ ස්සේ හැමෝටම වැඳලා අන්තිමටයි මට අප්පච්චි කිට්ටු කරන්න ලැබුණේ. එලියේ අප්පච්චි එක්ක ගනුදෙනු කරන්න වත්තේ අයයි, තව අඳුරන අයයි පෝලිමක් හිටියා.
වෙනදා වගේ නෙවෙයි අද අප්පච්චි අතේ මොකක්දෝ කොලයක්. මම ලඟට යද්දි අප්පච්චි හිනා වුණා. මම දණ ගහලා අප්පච්චිට වැන්දා.
"මගේ දුවට තුණුරුවන් සරණයි.."
ඊට පස්සේ මම නැගිට්ටේ පුරුදු පරිදි දෙනු නැතුව ගනු කරන්න.
"මං ඉල්ලපු දේ ගෙනාවද?" අප්පච්චි ඇහුවා.
"මොකක්ද අප්පච්චි?" මම පුදුමෙන් ඇහුවා.
"මගේ පරණ පැංචිව?"
මම හිනා වුණා.
"මම හැමදාම අප්පච්චිගේ පැංචි තමා අප්පච්චි"
"මේ අවුරුද්දේ මම ලොකු ගනුදෙනුවක් කරන්නයි යන්නේ" අප්පච්චි කියද්දි ගෙදර අනික් අය සේරම හිනා වෙවී වට වෙලා මා දිහා බලාගෙන උන්නා. මටැ මොකක්දෝ වෙනසක් තේරුනා මේ හැසිරීමේ.
"ඒ කිව්වේ?"
"මම ඔයාව දීලා, ඔයත් එක්කම තව පුතෙක් අපේ පවුලට ගන්නයි හිතුවේ" අප්පච්චි කිව්වා.
මට අම්මා දිහා බැලුණා, අම්මත් හිනා වෙනවා.
"මොනාද මේ කියන්නේ?"
මම ඇහුවාම අප්පච්චි මගේ අත උඩින් තිබ්බේ ඔහු කලින් අතේ තියාගෙන උන්නු කොලේ.
"නැකැත් පත්‍රයක්?" මම ඇහුවේ ඒක කියවන්න උත්සාහ කරන ගමන්.
මුලින්ම මගේ ඇහැ ගියේ උඩින්ම මුද්‍රණය කරලා තිබ්බ නම් දෙක  දිහාට. ඒක් කියවගෙන යද්දි මට හීන් දාඩිය දැම්මා. මෙච්චර ඉක්මණට? මම අප්පච්චි දිහා බැලුවෙ පුදුමෙන්.
"ඒත් අප්පච්චි?"
"ඔයාව හරියට නොබලම ඒ අය කැමති වුණා පුතේ" අප්පච්චි කිව්වා.
"ඒත් මේක නොවෙන වග මං එයාට කියලා ඉවරයිනේ" මම කිව්වා.
"අපි එහෙම කිව්වේ නෑනෙ"
"ඒත් එයා කැමති වුණාද ආයෙමත්..." මට කතා කර ගන්න බැරි වුණා.
"එක පයින්"
"එයාගේ අම්මලා?"
"හොඳටම"
මම බිම බලා ගත්තේ මොනවත් හිතා ගන්න බැරිව. මෙච්චර දේවල් වුණාට පස්සෙත්? මට අප්පච්චි ගැන දැනුනේ පුදුමයක්ම විතරයි.අප්පච්චි හිටපු විදියට, කරපු, කියපු දේවල් වල විදියට මෙහෙම දෙයක් කරාවි කියලා මම හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නෑ. මට තිබුණේ බලාගෙන ඉන්න විතරයි. මේ මොනාද වෙන්න යන්නේ?

7 comments:

  1. මේ කතාව කොහොම ඉවර වුණත් මා එක්ක ඔයාලා හැම්දාම යාලුවෝ වගේ ඉදීවි නේද?

    ReplyDelete
  2. අය්යෝ පුදුම තැන වලින්නේ නවත්තන්නේ .. දැන් කොහොමද අනිකත් දානකන් ඉවසගෙන බලාගෙන ඉන්නේ .. මේ කව්රු ගැනද දැන් කියන්නේ ?? කලිදුද ?? මම නං හිතන්නේ වෙන කෙනෙක් කියල .. බලමු මම හිතන එක හරියිද කියල ..

    ReplyDelete
  3. @ නෙතු අක්කි .. අනිවාර්යයෙන්ම ඉන්නවා .. ඒ උනාට මම හිතනවා මේ කතාව ඉවර උනත් ඔය මේ වගේම තවත් ලස්සන කතාවක් අපිට දෙයි කියල ,,

    ReplyDelete
  4. apoy akkiwe dala yanewade ehema api?? apoy ehema hithenkotath dukay,,ane ow math hithenewa thawe hode kathawak akki liyay kiyala :) ane ithin me kathawe methana nathere karame man kohomade ade raete doyyagane ??? mage hithe inne kena gane wenne one ade kotesa anthimate kiyala thiyenne,, api balamuko :)

    ReplyDelete
  5. Dont say me its Kalindu's name that is on the paper!!!!!!!!!!!!
    අනේ අක්කියෝ :(

    ReplyDelete
  6. මටනම් හිතෙන්නෙ අප්පච්චි අපූර්ව පුතා ගෙදර එක්ක එයි වගේ..:D

    ReplyDelete
  7. ශා අන්තිමට අපුර්වට දිනුම දීලා!

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....