Wednesday, October 5, 2011

විසි දෙවන දිගහැරුම


"මොකෝ මේ අද කුකුලත් අතින් අරන්?"
පහුවදා අමා එනකොටත් මම උන්නේ ක්ලාස් එකේ.
"ඔයාව අල්ලගන්න තමා ආවේ?"
මම කිව්වාම අමා බෑග් එක තියලා මා දිහා බැලුවේ කුතුහලෙන් වගේ.
"ඒ මොකෝ?"
"ඔයා මොනාද අපූර්වට මං ගැන කිව්වේ?"
අමා එක පාරටම මම කියපු දේ තේරුම් ගත්තේ නෑ වගෙ බලාගෙන හිටියා.
"මොකක්ද? ආ...ඔව් ඔව්. අපූර්ව මට දවසක් හම්බවුණා තමයි"
"මට කිව්වේ නැත්තේ ඇයි?"
අමා මගේ දිහා බැලුවේ වැරැද්දක් කරපු කෙනෙක් වගේ.
"මේකයි, අපූර්ව මට කිව්වා කියන්න එපා කියලා. මට එයාව හම්බවුණා දවසක් මාලිගාව ලඟදි. දැක්කාම මට පව් කියලා හිතුණා මෙත්. මම ඔයා ගැන කිව්වේ ඔය දෙන්නටම හොඳක් වෙයි කියලා හිතලා. ඔයා හිතින් විඳවන එක මට බලං ඉන්නත් බැරි නිසා. අනික හර්ෂි අක්කත් හම්බවෙලා කියලා තිබ්බා ඔයා වෙනදා වගේ නෙවෙයි කියලා. අපි හැමෝටම ඕන ඔයාලා සතුටින් ඉන්නවා බලන්න. ඔයාගේ හිත රිදුනා නං සොරි"
අමා කියාගෙන ගියා. මට ඈ ගැන දැනුනේ ආදරයක්. අනික් අතට හ ර්ෂි අක්ක ගැන මට පුදුම හිතුණා. මට වචනයක් වත් නොකියා එයා අපූර්වට මොනවද කියලා තියෙන්නේ?
"ඒත්...කොහොමද ඔයා මේක දැන ගත්තේ?" අමාට ඒක මතක් වෙලා තියෙන්නේ දැන්.
මම හිර කර ගෙන උන්නු හිනාව පිට පැන්නා. ඊයෙ වුණ දේවල් මම අමාට කිව්වේ එක හුස්මට. කතාව ඉවර වෙද්දි අමාගේ ඇස් දිලිසෙමින් තිබුණා.
"මට ගොඩක් සතුටුයි මෙත්මා. මොකද මම දන්නවා ඔයාට අපූර්ව කොච්චර ඕනද කියලා"
"මගේ හිතත් පුදුමාකාර විදියට සැහැල්ලු වෙලා අමා. අප්පච්චි ගැන හිතද්දි නම් බයයි තමා, ඒත් මට අපූර්ව අමතක කරන්න බෑ"
අමා මගේ අතක් අල්ල ගත්තා.
"මගේ සම්පූර්ණ සහාය ඔය දෙන්නට මම දෙනවා"

පංතිය ඇරෙන වෙලාව ලං වෙද්දි මම හිටියේ මොන තරම් කලබල වෙලාද කිව්වොත්, අන්තිමට කරපු කිසි දෙයක් මම අහගෙන වත් හිටියේ නැහැ.
මම අමා එක්ක වැව රවුම දිහාට ඇවිදගෙන යද්දි හිතේ පෙරලි කලේ කිසි දාක නොදැනිලා තිබ්බ නුහුරු හැඟීම් ගොන්නක්.
"අන්න කුමාරයා ඇවිත්" අමා මට කලින් අපූර්ව දැකලා.
මම බලද්දි අපූර්ව සාක්කුවටත් අත් දෙක දාගෙන යන්තමට හිනා වෙලා අපි එන දිහා බලාගෙන උන්නා. පැත්තකින් උන්නේ යෂිෂ්.අපි හතර දෙනා එකතු වුණාම මුලින් කතා කලේ යෂිෂ්.
"ඔන්න දැන් හරි නේ. මම උඹට තනි රැක්ක කාලේ අදින් ඉවරයි කොල්ලෝ. අද ඉඳන් මෙයාව ඔයාට බාරයි"
මම ලජ්ජාවෙන් බිම බලාගෙන හිටියේ, මගේ දෙකන් පෙති රත් වෙලා, කම්මුල් පවා උණුසුම් වෙද්දි.
"ඔව්. ඔන්න මාත් යනවා මෙත්මා" ඊලඟට අමා කිව්වා.
"දෙන්නටම ගොඩක් තෑන්ක්ස්" අපූර්වගේ හඬත් මට ඇහුණා.
ඉන් පස්සේ ඒ දෙන්නම යන්න ගියේ දෙනෝදාහක් නාඳුනන සෙනග අතරේ අපි දෙන්නව තනි කරලා. මම හිස උස්සන්නේ නැතිවම හිටියා අපූර්ව කතා කරන කල්ම.
"කොහොමද?" අපූර්ව ඇහුවේ අවුරුදු ගාණකින් හම්බවුණ කෙනෙක් වගේ.
"හොඳයි" මම කෙටියෙන් කිව්වා.
"අපිත් යමුද?"
"කොහාටද?"
"කොහෙට හරි, කතා කරන්න"
මම හා කියලා හිස වැනුවා.
අපූර්වයි, මමයි පුරුදු පරිදි ගොඩ වුණේ බේක් හවුස් අවන්හලට. 'අපි මෙහේ මුලින්ම ආපු දවසෙයි, අදයි කොච්චර නං දේවල් වෙනස් වෙලාද?'
අපූර්ව මට වාඩි වෙන්න පුටුවක් ඇදලා දීලා මගේ ඉස්සරහින් වාඩි වුණා. මම ඔහු දිහා යන්තමට බලද්දි ඔහුත් උන්නේ මගේ දිහා බලාගෙනමයි. හිතේ ගැස්ම වැඩි වෙලා ආයෙමත් අර නුහුරු හැඟිම් ගොන්නෙන් හිත පිරුණා.
"ඔයා අද හරීම වෙනස්. මට වෙනස්වට පේනවද මන්දා.මොනාද ඔයා බොන්නේ?" අපූර්ව අහුවා.
"ඔයා කැමති දෙයක්"
"එහෙනං, විස්කි? වොඩ්කා?"
මට හිනා ගියා. අපූර්වත් හිනා වුණා.
"තේ" මම කිව්වා.
"ඔයා හිනා වෙනවා දැක්කේ කොච්චර කාලෙකින්ද? දන්නවද මම මේ දවස එනකල් මාසෙකටත් වැඩිය බලාගෙන ඉඳලා තියෙනවා"
අපි අසලට වේටර්වරයෙක් ආපු නිසා මොහොතකට කතාව නැවතුණා.
"තේ ගේන්න, ෂෝර්ට් ඊට්ස් එක්ක"
වේටර්යා ගියාට පස්සේ අපූර්ව ආයෙම මා දිහාට හැරුණා.
" ඔයා මොනවත්ම කියන්නේ නෑනෙ"
"මම දෙයක් අහන්නද අපූර්ව?" මම ඇහුවා.
"ඕන දෙයක් අහන්න"
"ඔයා අමාගෙන් මං ගැන ඇහලා මට කිසිම දෙයක් නොඅඟවා හිටියේ ඇයි මෙච්චර කල්?"
අපූර්ව  මේසය උඩින් අත් දෙක තියලා මේසෙට බර වුණා.
"මම කිව්වනේ ඔයාට ආයෙම කරදර කරන්නේ නෑ කියලා. ඒත් වෙලාවක් ආපු ගමන්ම ඔයාට කියනවා කියලා මම හිතාගෙනයි හිටියේ. ඔයත් මම ගැන හිතන බව දැන ගත්තට පස්සේ මට ඒකට බලන් ඉන්න පුලුවන් කම ලැබුණා"
මම සුසුමක් හෙලුවා.
"ඒ වුණත්..."
"ප්ලීස් ඔය වචනේ නං කියන්න එපා. ඔය වචනෙන් පටන් ගන්නේ හරිම නෙගටිව් කතාමයි"
මම අපූර්ව දිහා බැලුවා, අද මුල්ම පාරට.
"අප්පච්චි මතක් වෙද්දි මට බයයි අපූර්ව"
අපූර්ව ඒ පාර බැරෑරුම් මූණක් මවා ගත්තා.
"මම දන්නවා. පුළුවන් වුණ මුල්ම දාට මම අප්පච්චි ගාවට එනවා මෙත්මා. ඒ ඊට කලින් එයාට මට බෑ කියන්න බැරි වෙන්න මම තත්වයක් හදා ගන්න ඕන. ඔයා බය වෙන්න එපා"
මම හිස වනලා හා කිව්වා.
"හර්ෂි අක්කා පව්. එයා ඔයාට නොකිව්වට ඔයා ගැන ගොඩක් හිතනවා. එයා මට ඇවිත් කිව්වා ඔයා ඉන්නේ සතුටින් නෙවෙයි කියලා. ඕන දෙයක් වෙන්න අපි එකතු වෙනවා නම් එයා කැමතියි කියලත් කිව්වා"
මට අදහාගන්න බැරි වුණා අක්කා ගැන. නිහඬවම ඉඳගෙන එයා මාව නිරීක්ෂණය කරලා තියෙන තරම්?
"මම දන්නෙවත් නෑ. මට නම් මුකුත් කිව්වේ නෑ"
හැමදේම ක්‍රමයෙන් සාමාන්‍ය අතට හැරෙමිනුයි තිබුණේ. මුලින් තිබ්බ සබකෝල ගතිය දුරු වෙලා ගිහින්, ආයෙමත් මට පුරුදු අපූර්වගේ හිතවත්කම මට දැනෙමින් තිබුණා.
"ඔයා පුදුම දහිරියක් නේ දැම්මේ මගෙන් දුරස් වෙන්න. ඔයා එහෙම කරන්නේ අප්පච්චි ගැන හිතලා බව මම තේරුම් ගත්තේ එදා ඔයා මා එක්ක රණ්ඩු වුණ දවසෙමයි. ඔයාව ඕනෙ නම් පස්සෙන් යන්න එපා කියලා මට කිව්වේ යෂිෂ්. එයා කිව්වා ඔයාගේ හිතේ මං ගැන තියෙනවා නම් මම අවොයිඩ් කරනවා කියලා දැනුනොත් ඔයාගේ ආදරේ එලියට ඒවි කියලා. බලන් යනකොට ඌත් අදහන්න වටින එකෙක්. ෂෙහානටත් මම තෑන්ක්ස් කරන්න ඕන, දැන හරි නොදැන හරි ඔයාට මොලේ පෑදෙන්න මුල් වුණාට"
අපූර්ව ඊට පස්සේ එහෙම කියලා හිණා වුණා. මටත් හිනා ගියා ඒ කතාවට.
"හිතන්නකෝ මම ඇත්තටම වෙන කෙල්ලෙක් එක්ක යාළු වුණා නම්, ඔයා මොකද කරන්නේ?"
"මොනවා කරන්නද? මට මොනවත් කරන්න බෑනෙ. හැබැයි මට ගොඩාක් දුක හිතේවි"
අපූර්ව මගේ දිහා බලාගෙන හිටියේ දයාබරව.
"ඒක කවදාවත් වෙන්නේ නෑ. මම දන්නේ නෑ ඇයි කියන්න ඒත් ඔයා ඇරෙන්න කෙනෙක් ගැන මට හිතන්න බෑ"
"මටත් බෑ" මම කිව්වා.
අපි තේ බීලා ඉවර වෙලා ආපහු ගෙදර එන්න පිටත් වුණේ රෑ වෙන්න කලින් යන්න ඕන නිසයි.
"මම කාර් එක ගෙනාවේ නැහැ. මට ඕන වුණේ පුරුදු දුප්පත් විදියට ඔයා එක්ක බස් එකේ යන්න. හිර වෙලා, දාඩිය පෙරාගෙන, දූවිලි වැදි වැදී..." අපූර්ව ආයෙමත් පෙර පුරුදු පිස්සු අපූර්වම වෙලා.
"එහෙම හොඳයි අපූර්ව"

"හෙට අප්පච්චි ආවාම ඔයත් යනවද?"
අපූර්ව ඇහුවේ අපි බස් එකකට නැගලා වාඩි වුණාට පස්සේ.
"ම්ම්...නෑ. යන්න බෑනෙ. සඳුදා ක්ලාස් නේ. ඒත් ඒක තියෙන්නෙත් තව මාස දෙකයි" මම උත්තර දුන්නා.
"ඉතිං ඔයා ඉන්ටර්මීඩියේට් එකත් කරන්න. නැත්තං වෙන කෝස් එකක්. අනේ මාවා දාල ගෙදර නං යන්න එපා"
මම ජනේලෙන් එලිය බලාගෙන හිනා වුණා.
"බලමුකෝ, අප්පච්චි මොනා කියයිද දන්නේ නෑනෙ"
එහෙම කියලා මම අපූර්ව දිහා බැලුවේ අවිනිශ්චිතව.
"හදිසියේ වත් අප්පච්චි කිව්වොත් ඔය ඉගෙන ගත්ත ඇති ගෙදර යමු කියලා? නැත්තං කැනඩා යවන්න හැදුවොත්, මොකද කරන්නේ අපූර්ව?"
අපූර්ව මොහොතක් කල්පනා කලා.
"ඔයා කොහේ ගියත් මම එනවනේ ඔයාව බලන්න"
'කැනඩා ගියත්?"
"අපොයි ඔව්. අප්පච්චි නැති නිසා එහේ එන එක ලේසි වෙයි නුවර එලියේ එනවට වඩා"
අපූර්වට ඒ පාර හැම දේම විහිලු.
"විහිළු නෙවෙයි අපූර්ව"
"ඉතිං මම ඇත්ත තමා කියන්නේ"
මම මොකක් හරි දෙයක් කියන්න කට හැදුවත් එවෙලේ බස් එකට නැග්ග කෙනෙක් නිසා මට සේරම අමතක වුණා.
"අපූර්ව...අපූර්ව...හර්ෂි අක්කා" මම හෙමින් කිව්වා.
හර්ෂි අක්කා නැග්ගේ මූණෙන් කිසිම හැඟීමක් නොපෙන්නා. මම හිටියේ ටිකක් විතර බයෙන්.
"ආ...ආපහු දෙන්නා යාලු වෙලා තියෙන්නේ" අක්කා කිව්වේ අපි ලඟට එන ගමන්. මම නම් මුකුත්ම කිව්වේ නෑ. අපූර්ව හිනා වුණා විතරයි.
බස් එක ඉඳ ගන්න තැන් දෙක තුනක් ඉතිරි වෙලා තිබුණා තවමත්. අක්කා අපට වෙන මුකුත් නොකියා ආපහු ගිහින් ඉස්සරහ ඉඩ තිබ්බ තැනක් බලලා වාඩි වුණා.
බහින තැනට එනකල් අපි කත කලේ වචන දෙක තුනක් විතරයි. මම බස් එකෙන් බැහැලා අක්කාව හොයද්දි එයා ඈත යනවා පෙනුනා. අක්කා අපට තනියෙම එන්න ඉඩ දෙන්න හිතලා වෙන්න ඇති.
"හර්ෂි අක්කා කෝ?" මට පස්සේ බැහැපු අපූර්වත් ඇහුවා.
"ආන්න, අර යන්නේ" මම පෙන්නුවා.
"එයා නම් හරි පුදුම කෙනෙක්" අපූර්ව කිව්වා.

අපි දෙන්නා ගෙදරට යන පාර දිගේ ඇවිදගෙන ආවේ හෙමින්.
"දැන් දිගටම ගෙදර ඉන්නද යන්නේ රිසල්ට්ස් එනකල්ම?" මම අපූර්වගෙන් ඇහුවා.
"නැතුව? මේ දවස් ටිකේ ගෙදර ඉන්න තරමක් තමා. ඊට පස්සේ ජිවිතේ කොහොම බිසී වෙයිද දන්නේ නෑනෙ"
"හ්ම්. ඒක් ඇත්ත. දැ න් පේන්නෑ මට? ගෙදරින් කොච්චර ඈත් වෙලාද?"
"ඒත් මම ඔයා බලන්න එන්නම් ක්ලාස් එක ලඟට"
"අනේ හැමදාම එන්න එපා. ඔයාගේ අම්ම මොනා හරි හිතයි. අපෙත් පුංචම්මට ආරංචි වුනොත් මම ඉවරයි. දන්නවනේ?"
අපූර්ව ඒකට විරුද්ධ වෙන්න කට හැදුවා.
"ඔය ඉතිං, කියන දේ අහන්න අපූර්ව"
ඔහු ඊට පස්සේ හිස වැනුවා."හ්ම්. හ්ම්"
අපි ඉක්මණටම ගෙවල් ලඟට ඇවිත් කියලයි මට හිතුණේ.
"ඔන්න ගේ ලඟටත් ඇවිත්! අපූර්ව හිටපු ගමන් නැවතුනා.
"යමු. නැත්තං පුංචම්මා බලයි අක්කත් ඇවිත් මොකෝ මම නැත්තේ කියලා"
මම කිව්වේ ඔහුට වඩා අඩි කීපයක් ඉස්සරහට ඇවිත්.
"පොඩ්ඩක් ඉන්න..."  ඔහු මගේ ලඟට ආවා. මම ඔහු දිහා බැලුවා.
"මට ආදරේද?" ඔහු ඇහුවේ හෙමිහිට, රහසින් වගේ. මම බිම බලා ගත්තා.
"කියන්නකෝ..."
"නැත්තං" මම කිව්වේ ඔහු දිහා නොබලම. ආයෙමත් අර සබකෝල ගතිය මාව වෙලා ගෙන.
"එහෙම නෙවෙයි, කියන්න මට ආදරෙයි නේද?"
"ම්ම්"
"ම්ම් කිව්වේ?"
"අනේ අපූර්ව මම යන්වා..." ඒ පාර මම කිව්වා.
අපූර්ව කට කොනකින් හිනා වුණා.
"ඔයා මගේ… මගේ විතරමයි"
මම හිත තද කරගෙන අපූර්ව දිහා බැලුවා. ඒ ඇස් දෙක ආදරෙන් මත් වෙලා වගේ.
"ඔව්" මම එහෙම කියලා දුවගෙන ආවා අපේ ගෙදර දිහාට.
"යන්නම්. ගුඩ් නයිට්"
අපූර්ව හිස ඇල කරලා මා දිහා බලලා අතක් වැනුවා.
"ගුඩ් නයිට්"
මම එක පාරටම ගැස්සිලා ගියා ගේට්ටුව ලඟ උන්නු අක්කා දැකලා.
"එනකල් හිටියේ යමු" අක්ක ඉස්සර වුණා.
මට අක්කා ගැන තිබ්බ සෙනෙහස දෙගුණ වෙලා දැනුනා. අක්කා නොහිටියා නම් පුංචම්මගේ ප්‍රශ්ණ වලට මට උත්තර හොයන්න බැරි වෙනවා.

"දැන් සේරම ප්‍රශ්ණ විසඳිලාද?" අක්කා ඇහුවා.
අක්කයි, මමයි උන්නේ අක්කගේ කාමරේ. අක්කට හැම දේම කියන එක මගේ යුතුකම නිසයි මම ඒ කාමරෙට ගියේ.
"නෑ. දැන් තමා ප්‍රශ්ණ පටන් ගන්නේ" මම කිව්වා.
"ඒකත් ඇත්ත. අනේ මං දන්නෑ ඉන්දි මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා?"
මම හිස වැනුවා.
"ඒ බය තමා මටත් තියෙන්නේ. මම අපූර්ව ව අමතක කරන්න උත්සාහ කලෙත් ඒකයි. ඒත් මට කරන්න බැරිත් ඒකමයි"
"මට තේරුණා ඒක. මම අපූර්වටත් ඒක කිව්වා. මට වුණ දේ ඔයාට වෙනවා බලන්න මට ඕන වුණේ නැහැ."
අක්කා කවදාවත් නැති විදියට හැඟීම්බර වෙලා කිව්වා.
"අක්කේ, ඒ මොකක්ද ඒ කතාව?"
අක්කා දිග සුසුමක් හෙලුවා.
"මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් මට නැති වුණත් ඔය කුල මල ප්‍රශ්ණයක් නිසා. ලොකු අප්පච්චි තමා ඒකටත් මැදිහත් වුණේ. එතකොට අපේ අප්පච්චි නැති වෙලා. මට ඉන්නේ අම්මා විතරක් නිසා මට සිද්ධ වුණා එයාව අතාරින්න"
අක්කගේ ඇස් වල කඳුළු දිලිසුණා.
"අක්කා මට කවදාවත් කියලා නෑනෙ ඔහොම දෙයක්"
"මතක් කරන්න තරම් ඒ අතීතේ වේදනාකාරී වැඩියි ඉන්දි. මම කොච්චර නං හිතින් විඳෙව්වද? අන්තිමට එයා රටිනුත් යන්න ගියා. මම නිසාම. අපි හිත් එක තැනක තියලා දෙතැනක තනි වුණා ඉන්දි"
අක්කා කිව්වේ අමාරුවෙන් වගේ හැඬුම් නවත්තගෙන.
ඒ පාර මම මුකුත්ම නාහා ඇයට හිත සැහැල්ලු කර ගන්න ඉඩ දුන්නා.
"මම හිතා ගත්තා කවදාවත් කසාද බඳින්නේ නෑ කියලා. ඒ තීරණේ තාම එහෙමමයි. ඒත් ඔයා එහෙම වෙන්න එපා. කවදා හරි අපූර්ව එක්කම ඉන්න බලන්න අන්තිම වෙනකල්ම"
අක්කා ආයෙම කිව්වා. මට අක්කට කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. මම අක්කගේ උරහිස උඩින් හිස තියා ගත්තේ මටත් ඇඬෙන්න ආපු හන්දයි.
"මම ඉන්නවා අක්කේ, මම අපූර්ව ව අතාරින්නෙ නෑ මොනවා වුණත්"

4 comments:

  1. හොද පෙරලියක් ඉස්සරහට එනවා වගේ...

    ReplyDelete
  2. මොකක් උනත් කතාව නන් ලස්සනයි....

    ReplyDelete
  3. ඔන්න දැන් අපූර්ව ආදරේ නම් දිනා ගත්තා.දැන් දෙන්නට තියෙන්නේ ආදර සටන ජයගන්න.
    මේ කතාවේ මේ කොටසේ එක්තරා විශේෂත්වයක් තියනවා.මොකද මේ කොටසෙ තමා කතාවේ හැරුම් ලක්ෂය පවතින්නේ.

    දිගටම ලියන්න.අපි කියවන්න අසාවෙන් බලා ඉන්නවා.

    ReplyDelete
  4. ඇත්තටම ආදර සටනක් තමා...

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....