Monday, August 1, 2011

පස් වෙනි දිගහැරුම

අපි පදික වේදිකාව දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. ඒ එන අතරතුරේදි අපූර්වට මුණගැහුණේ පුදුම යාලුවෝ තොගයක්. ඒ යාලුමිත්‍රාදීන්ට හායි, හලෝ, කිය කිය එන්නම අපට ගොඩක් වෙලා ගියා මම හිතන්නේ.
"මෙන්න මෙතන තමා ටොරිංටන් එක." අපූර්ව නැවතුනේ කොන්ක්‍රීට් වලින් හදපු  උද්‍යානයක් ලඟ. ඒකෙ තැනින් තැන වවපු බෝගන්විලා මල් පඳුරු මම දැක්කා.
"මෙතනද බස් ගහන්නේ?"
මම ඇහුවේ ඒ හරියේ නම් පේන්න බස් නොතිබුණ හන්දා. එහා පැත්තේ ඔරලෝසු කණුව ලඟ නම් බස් පෝලිම් ගැහි ගැහී තියෙනවා මට පෙනුනා.
"ඔයාට නුවර ගැන සාමාන්‍ය දැනීමක් වත් නෑනෙ අක්කි. ඔහොම නම් මෙහේ ඉන්න බෑ."
අපූර්ව කිව්වේ ඇස් කරකවමින්.
"ඒකට කමක් නෑ. මම මෙහේ නවතින්න එන්න අදහසක් නෑනෙ." මම කිව්වා.
"කවුද දන්නේ?" අපූර්ව මා දිහා බලලා කිව්වා.
මම ආයෙම මුකුත් කියන්න කලින් අපූර්ව පඩි පෙලක් බැහැලා මාවත් එක්කගෙන ගියේ පාර යතින් තිබුණ බිම් ගෙයක් ඇතුලට. එතන හතර මං හන්දියක් වගේ හතර පැත්තට පඩිපෙලවල් තිබුණා. වෙලඳසැල් තිබුණා, මිනිස්සුත් ගොඩක් හිටියා. මම මීට කලින් මෙතනට ඇවිත් තිබුණේ නැහැ.
"කොහෙද මල්ලි අපි මේ යන්නේ?" මම වටපිට බැලුවා.
"මේක මගී උමං මාර්ගයක්. පාර දිගේ ගිහින් වාහන අස්සේ පාර පනින එක වලක්වන්න තමා මිනිස්සුන්ට දෙපැත්තට මාරු වෙන්න මේක හදලා තියෙන්නේ."
අපූර්ව පැහැදිලි කළා.  නුවර මම හිතුවට වඩා කොච්චර සංකීර්ණද? නුවර එක්ක සසඳද්දි අපේ ගම කොච්චර පුංචිද කියලා මට හිතුණා.
කොහොම කොහොම හරි අපි එහෙන්මෙහෙන් රිංගලා  ඇවිත් බස් එකකට නැගලා වාඩි වුණා.
"හප්පෝ...මට කලන්තේ වගේ. මීට හොඳයි අතනින්ම බස් එකකට නැග්ගා නම්. අපි කොච්චර දුර ආවද?"
මම පවන් සලා ගන්නා ගමන් කිව්වා. මට හොඳටම දාඩියත් දාලයි තිබුණේ. අපූර්ව හිනා වුණා.
"ටික දවසක් යද්දි හුරු වෙයි. මිනිස්සු අනික් සත්තුන්ට වඩා හරි ඉක්මණට ඕන දේකට අනුවර්තනය වෙනවනේ" අපූර්ව කිව්වා.
ඇති ඇති. මට දැන් මානව පරිණාමය ගැනත් අහන්න බෑ." මම කිව්වා.
බස් එකේ දෙතුන් දෙනෙකුට වඩා මෙවෙලේ හිටියේ නැහැ. අපූර්ව අතේ තිබ්බ පොත රෝල් කර කර වට පිට බල බල හිටියා.
"අපි බිස්කට් කමුද?" මම මේ පාර ඇහුවාම අපූර්ව බෑ කිව්වේ නෑ. කොහොම වුණත් සෙනග හුඟක් පිරෙන්න කලින් අපූර්ව බිස්කට් කාලා ඉවර වුණ එක ගැන නම් මම සතුටු වුණා.

"කවුරුහරි අපේ ගෙදර ගිහින් කියයිද දන්නේ නෑ මම ගෑණු ළමයෙක් එක්ක ජෝඩු දාලා බස් එකේ ආවා කියලා."
බස් එකෙන් බැහැලා එන අතරතුර අපූර්ව මට එහෙම කිව්වා. මගේ හිත යන්තම් නොසන්සුන් වුණා.
"හරි වැඩේ. ඉතිං මොකද කරන්නේ?" මම ඇහුවේ පුංචි බයකුත් හිතේ තියාගෙන.
"මොනා කරන්නද ඇත්ත කියනවා මිසක්."
"ඔව්. ඔව්.  ඒක තම හොඳ" මමත් හිස වැනුවා.
ඒ පාර අපූර්ව මහ හයියෙන් හිනා වෙන්න ගත්තා. මම ඔහු දිහා බැලුවේ පුදුමෙන්.
"ඇයි හිනාවෙන්නේ?"
"හයියෝ... ඔයා නම් හරිම සිලී අක්කි. ඔයා මේ බය වෙලා ඉන්නේ හරියට එහෙම දෙයක් වෙලා වගේනෙ. මම ගැන එහෙම හිතන්නෑ අපේ අම්මි. එයා මම ගැන හොඳට දන්නවා. බය වෙන්න එපා. මම විහිලුවට කිව්වේ"
මම නැවතිලා අපූර්ව දිහා බැලුවේ අමනාපෙන්. ඔහු ඒ පාර හිනා වෙන එක නවත්තලා මා ලඟට ආවා.
"අපි යමු නේ? වෙලා යනවා."
අපූර්වට තිබ්බේ හරිම අමුතු ගතිගුණ. වෙලාවකත හරිම හොඳයි. වෙලාවකට නපුරුයි. ඒත් ඔහු අක්කාවයි, මාවයි ආශ්‍රය කලේ බොහොම දයාබරත්වයෙන් කියලා කල් යද්දි මට තේරුණා.ඒ සමහරවිට ඔහුගේ එකම සොහොයුරියත් පිටරටක උන්නු නිසා වෙන්න ඇති. හුඟාක් දවස් වල පංති ඇරිලා එද්දි අපූර්ව මට මුණගැහුණා. මටත් නොදැනීම මම ඔහුගේ චරිතයට ඇලුම් කරන්න පටන් ගත්තා.මම හිතුවේ ඒ  මට කවදාවත් මල්ලියෙක් නොහිටපු නිසා වෙන්න ඇති කියලයි.

No comments:

Post a Comment

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....